තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙක් මරුට


(කේ බුද්ධික කුමාරසිරි )


 මීගොඩ  ඕවිටිගම ප‍්‍රදේශයේ මාර්ගය හරහා දමා තිබූ අඹ අත්තක් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ගයේම පදිංචිකරුවන් දෙදෙනෙකු අතර  අද (17) ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් එක් පුද්ගලයෙකු විසින් අනික් පුද්ගලයාට තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ එක් අයෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.


සිද්ධියට සම්බන්ධ අතුරු මාර්ගයට හෝමාගම ප‍්‍රාදේශීය සභාව මගින් දින කිහිපයකට පෙර තාර දමා සකස් කර ඇති බවත් තාර දැමූ මාර්ගය සවි වන තුරු වාහන ගමනාගමනය වැලැක්වීමට අදාල කොන්ත‍්‍රාත්කරුගේ අදහසක් අනුව එම මාර්ගය වසා අවහිර කර තැබීමට ප‍්‍රදේශවාසීන් පියවර ගෙන ඇති බවත් ඒ අනුව වසා දැමූ මාර්ගයේ තිබූ අඹ අත්ත එක් අයෙකු විසින් ඉවත් කිරීමට යාමේදී ඊට ඝාතනයට ලක් වූ පුද්ගලයා විරෝධය පළ කිරීම නිසාවෙන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.


පසුව සැකකරු විසින් අසල පිහිටි නිවසට දිවවිත් නැවත බහින් බස්වීම සිදු වූ ස්ථානයට පැමිණ ඝාතනයට ලක් වූ පුද්ගලයාට තියුණු ආයුධ පහර කිහිපයක් එල්ල කර ඇති බවත් පසුව අසල්වාසීන් විසින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි


මෙලෙස මිය ගොස් ඇත්තේ පැටිකිරි ආරච්චිලාගේ ලයනල් නමැති 59 හැවිරිදි කුලී ට‍්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිටි දෙදෙරු පියෙකි.
ඝාතනය සිදු කළ 79 හැවිරිදි විශ‍්‍රාමිකයෙකු වන සැකකරු ඔහුගේ නිවසේ සිටියදී මීගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඝාතනයට යොදා ගත් තියුනු ආයුධයද  සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
 
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදු කළේය.