තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී 2ක් මරුට


(ක.ග.කරුණාරත්න)
 
පොළොන්නරුව,කදුරුවෙල නගරයේදී අද(01) අලුයම තරුණයන් තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
 
එම අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත්කර තිබේ.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ පොළොන්නරුව,කාලිංගඇල,06 ඇළ පදිංචිව සිටි ඞී.ජී.සසික ෂෙහාන්(17) සහ පොළොන්නරුව, ඕනෑගම,අංක 15/19 ලිපිනයේ පදිංචිව සිටි පී.කේ.ජී.ජනිත් අසංක(18)යන දෙදෙනාය.
 
පොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් සහ කදුරුවෙල සිට පොළොන්නරුව දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදිය සමඟ ගැටී අනතුරට ලක්වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි.
 
මියගිය තරුණයින් දෙදෙනාගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද(01) පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
ටිපර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.