(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතයේ ඊයේ (24) පස්වරුවේ හටගත් ගින්න පාලනය කළ බව දිඹුල පොලිසිය පැවසීය.
ඩෙවොන් දිය ඇල්ල ආසන්නයේ හටගත් ගින්න වන වගා රක්ෂිතය දක්වා පැතිර ගොස් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය ආසන්නයටම පැතිර ගිය බව පොලිසිය කීය.
ප්‍රධාන මාර්ගය අසල තිබූ නිවාස දෙකක් ආසන්නයට ගින්න පැතිර ගිය අවස්ථාවේ දිඹුල පොලිසියේ නිලධාරීන් , තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කළ බව දිඹුල පොලිසිය කීය.
කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවන ඒකකය සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. කොත්මලා ඔයේ දිය නෑමට ගිය අයෙකු හෝ කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක පමණ කොටසක් විනාශ වී ඇති බවත් දිඹුල පොලිසිය පැවසීය