ටිපර් රථවල ගැටී යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මරුට


 

(මොහොමඩ් බුහාර්ඩ්න්)

ගලේවෙල-මාතලේ මාර්ගයේ හා දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ ස්ථාන දෙකකදී අද (06) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනකු
මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේදී එකම දිශාවට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ 38 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයට යටවී බරපතළ තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්  ඇත.

එම  යතුරු පැදිය පදවාගෙන ගිය අයද තුවාල ලබා  රෝහල් ගත කෙරිණ.

මේ අතර ගලෙවෙල මාතලේ මාර්ගයේ වාසලකෝට්ටේ  ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින්  යතුරුපැදිය  පදවාගෙන ගිය,  මිල්ලවන ප්‍රදේශයේ පදිංචි  17  හැවිරිදි අයෙකු  බරපතළ තුවාල  ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. එම යතුරු පැදියේ සිටි අනෙක් අය ද තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර  ටිපර් රථ  දෙක හා යතුරු පැදි  පොලිස් භාරයට ගෙන ඇත.ගලේවෙල පොලිසිය  අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.