ඝාතනයකට චෝදනා ලැබූ 6 ක් නිදොස් කොට නිදහස්


(කේ.බුද්ධික කුමාරසිරි)

වසර 27 කට පෙර කඩුවෙල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද (17)  නියෝග කළේය.

1993 දෙසැම්බර් 26 දින හෝ ඊට ආසන්න දිනයකදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටමුකදී මෙහි ප්‍රධාන විත්තිකරුගේ සහෝදරියක වන වෙලපහලගේ කුසුමාවතී යන අය ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනා වෙනුවෙන් නඩු පවරා තිබුණි.

මෙහිදී නඩු තීන්දුව සම්බන්ධයෙන් දීර්ඝ දේශනයක් කළ හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේ  ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයට ඉදිරිපත් වූ කරුණුවල ඇති පරස්පරතා සහ ඌණතාවයන් ඇතුළු කරුණු රැසක් සැළකිල්ලට ගෙන මෙම නියෝගය ලබා දීමට කටයුතු කළ බවයි.

මෙහි විත්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න සහ නීතිඥ අරුණ ඉහලවිතාන යන නීතිඥයින්  පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රජින්ද ජයරත්න මහතා පෙනී සිටියේය.