ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉවත්කරන්නැයි වීරකැටියේ විරෝධතා


(අනීෂා මානගේ)

වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පිහිටා ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ පැවතීම හේතුවෙන් විශාල පාරිසරික ගැටළු රැසක් සහ පානීය ජල ගැටළු පැන නැඟී ඇතැයි කියමින් එම මධ්‍යස්ථානය ඉවත් කරන්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක් අද (8) වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය විරෝධය පළ කළහ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පිහිටා තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීරකැටිය සහ වලස්මුල්ල ප්‍රදේශවල කැළි කසළ ද්‍රව්‍ය කළමනාකරණය කෙරෙන්නේ මෙම මධ්‍යස්ථානයේදී ය. උස් කඳු මුදුනක් කපා මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබීමෙන් විශාල පාරිසරික ගැටළු රැසක් පැන නැඟී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ ගම්වාසීහු පිරිසක් අද(8) කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණ සිටි අතර ඔවුහු මේ සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට සිය විරෝධය පළ කළහ. සභාපතිවරයා ඇතුළු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ගම්වාසීන් සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළහ.