ගාලු තැපැල් කාර්යාලයේ අනතුරුදායක කොටස් ඉවත් කරයි


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටීමෙන් පසු අනතුරුදායක අනෙක් කොටස් ඉවත් කිරිම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2) ආරම්භ කරන ලදී.

මෙම පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් සම්පූර්ණයෙන්ම කඩා වැටීමෙන් පසු අනතුරුදායක ඉතිරි කොටස් සියල්ල ද දිනක් ඇතුළත ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ගාල්ල නගර සභාවට ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට  නියෝග කෙරිණි.

එහෙත් එම ආයතන අනතුරුදායක කොටස් ඉවත් කිරිමට පියවර නොගැනිම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබිය.

ඒ අනුව  තවත් කොටස් කඩා වැටි මහජනයා හිරිහැරයට පත්විමේ  අවදානමක් පවතින හෙයින් අනතුරුදායක කොටස් ජනවාරි 6 වැනිදා හෝ එදිනට පෙර  ඉවත් කිරිමට පියවර ගන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.

එහිදි ගාලු උරුමය පදනම කියා සිටියේ අනතුරුදායක කොටස් ඉවත් කිරීමේ තාක්ෂණය තමන් සතුව නොමැති නිසා නාවික හමුදාවේ සහාය ලබා ගන්නා බවයි. ඒ අනුව නාවික හමුදාව විසින් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරිම මෙලෙස ආරම්භ කර ඇත.

නාවික හමුදා නිලධාරියෙකු පැවසුවේ මෙය වසර සිය ගණනක් පැරණි ගොඩනැගිල්ලක් නිසා ඉතා ප්‍රවේශමෙන් අනතරුදායක කොටස් ඉවත්කළ යුතුව ඇති බවයි.