(ඩී.ජී.සුගතපාල)
මන්ත්‍රීවරුන්ගේ මේස මත, සභාව ආරම්භ වීමට පෙර තබා තිබු ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කරුණු විමසීම හේතුවෙන් අද (20) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීම එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
නගරාධිපති ප්‍රියන්ත සහබන්දු(පො.පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
සභාව ආරම්භයේදිම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් ගමගේ මහතා ලිපියක් සභාවට පෙන්වමින් එය මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති බවත් එය තබා ඇත්තේ කවුරුන්දැයි යනුවෙනුත් විමසා සිටියේය. මෙය බරපතල දෙයක් බවත් බෝම්බයක් වුවත් මේ ලෙස තබා යාහැකි නිසා මේ පිළිබඳ සොයා බලන ලෙසත් ඉල්ලා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරුන්ගේ මේස මත එම ලිපිය තබා තිබිණී.
මෙහිදි නගරාධිපතිවරයා මෙම ලිපිය ගෙනැවිත් තබන ලද පුද්ගලයා සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව කියා නිහඬව සභාව පවත්වා ගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ජනතා විමක්ති පෙරමුණේ සුනිල් ගමගේ කතා කරමින් තමන්ට කතා කිරීමට අයිතියක් තිබෙන බවත් මෙවැනි ලිපියක් සභාව ආරම්භයට පෙර මේස මත ගෙනැවිත් තැබීම බරපතල දෙයක් බවත් කියා සිටියේය.
මෙහිදි පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. පසුව මෙයට විරෝධය පළ කරමින් තමන් පිටව යන බව පවසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරිය සභා ගැබෙන් පිටවු අතර එම අවස්ථාවේ සභාවේ සිටි අනෙක් මන්ත්‍රීවරු එම තිදෙනාට හූ කියන්නට වුහ.
පසුව එම තිදෙනා සභා ගැබෙන් පිටතට පැමිණි අවස්ථාවේ පිටත සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු සමග ද වචන හුවමාරුවක් සිදු විය.