(මොහොමඩ් ආසික්)
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය වෙනුවෙන් තාවකාලිකව ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කතා කරමින් සිටින අතර තුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවෙන් පිටත්ව ගියහ.
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මාසික මහ සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සිටින ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතා මේ ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ මහනුවර නගරය තුළ ගව ඝාතනය තහනම් කර ඇති නිසාත් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මහනුවර නගර සීමාවේ පිහිටා තිබීම නිසාත් හාරිස්පත්තුවට ගව ඝාතනාගාරයක් නොමැති වීම නිසාත් ගව ඝාතනයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කළ සභාපති ආනන්ද ජයවිලාල් මහතා කියා සිටියේ පනත අනුව මෙවන් ඉල්ලීම්වලදී තාවකාලික බලපත් ලබා දීමට සිදු වන බැවින් එය තනර කිරීමට හැකියාවක් නැති බවයි.
කෙසේ නමුත් සභාපතිවරයා පෞද්ගලික අවශ්‍යතාවයක් මත මූලාසනයෙන් ඉවත්ව යාමෙන් පසුව උප සභාපති විජේසේකර මැදගෙදර මහතා මූලාසනයට පැමිණි අතර සභාව තව දුරටත් පැවැත්විණ.
මෙහිදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්ව සිටින විජිත කුමාර නඳුන්ගේ මහතා කියා සිටියේ මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන මෙවන් අවස්ථාවක ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් නොකළ බව කියමින් දිගින් දිගටම කතා කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක චන්න ලියනගේ, තිලක් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවෙන් පිටව ගිය අතර ඉන් පසුවත් සභාවේ රැඳී සිටි එක්සත් ජාතික පක්ෂයේ ලලිත් රණරාජා මහතා මුලාසනයේ සිටි වැඩ බලන සභාපතිවරයාට දන්වා සභාවෙන් පිටව ගිය අතර එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනාද සභාවෙන් පිටව ගියහ.
කෙසේ නමුත් ජාතික හෙළ උරුමය නියෝජනය කරන එජාපයෙන් පත්ව සිටින ධනුෂ්ක මල්වැව මහතා සභාව අවසන් වන තුරුම සභාවේ රැදී සිටියේය.