(වියලුවේ නිශාන්ත කුමාර)
උල්හිටිය සහ රත්කිද ජලාශ වාන් දැමීම සහ ප්‍රදේශයේ තිබූ දිය කඳුරු පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්වයත් සමග තාවකාලික සහන කඳවුරු 2ක රඳවා සිටි මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහහේන හා තෙල් තෙල්දෙනියාය ග්‍රාම සේවා වසම් දෙකෙහි පවුල් 37කට අයත් පුද්ගලයින් 138ක් එම ගංවතුර තත්වය පහව යෑම හේතුවෙන් අද (21) උදෑසන යළිත් ඔවුන්ගේ නිවෙස් කරා තාවකාලිකව පිටත්කර යැවූ බව මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.
ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඊයේ (20 ) සවස මීගහහේන ග්‍රාමසේවා වසමේ පදිංචි පවුල් 22 කට අයත් සාමාජිකයින් 78 දෙනෙකු බතලයාය ප්‍රජාශාලාවේ පිහිටුවන ලද සහන සේවා කඳවුරක රඳවා තැබුණු අතර තෙල්දෙනියාය වසමේ පදිංචි පවුල් 15 කට අයත් සාමාජිකයින් 60 දෙනෙකු තෙල්දෙනියාය පාසලේ පිහිටුවන ලද සහන කඳවුරක රඳවා තැබීමට කටයුතු යොදා තිබිණි.
කෙසේ වෙතත් අද (21) උදෑසන ඇති වූ ජලය බැස යෑම් හේතුවෙන් අවතැන්වූවන්ට සිය නිවෙස් සකස්කර ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටි නිවෙස් කරා තාවකාලිකව පිටත්කර යැවූ බවත් අවශ්‍ය වුවහොත් ඔවුන් යළි සහන සේවා ස්ථාන වෙත කැඳවීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

