(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පීඩාවට පත් පුද්ගලයින් සඳහා රුපියල් 5000 බැගින් වූ දීමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්වීමේ සහ 0වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය
වතුකරයේ ජනතාවට මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමඟ අද (06) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව කීය.
සෞභග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන වතුකරයේ මුඩු ඉඩම් වල ව්‍යාප්ත කිරීම සඳහා මුඩු ඉඩම් වතු අධිකාරීවරුන් හරහා හදුනාගෙන එම ඉඩම් වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබා දී බිජ ඇට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් නොමිලේ ලබා දී වතුකරය පුරා සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දියත් කරන බව ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසීය.
වතු කම්කරුවෙකුට මසකට රුපියල් 9000 ක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කර ඇති බවත් දින 10 කට රුපියල් 3000 ක වියළි සලාක මල්ලක් බැගින් මසකට වියළි සලාක මලු තුනක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.
රජයෙන් සහ වතු සමාගමෙන් ඒ සඳහා මූලික ප්‍රතිපාදන ලබාදෙන බවත් වියළි සලාක මලු වල වටිනාකම වතු කම්කරුවන්ගෙන් වාරික තුනකින් යළි අය කරගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමෙන් පීඩාවට පත් සහ රැකියා විරහිත අයහට රුපියල් 5000 දීමනාව හෙට (07) සිට ග්‍රාමසේවා නිලධාරීවරයා හරහා ගෙවීමට කටයුතු කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
එම මුදල ලබා ගැනීමට වතුකරයේ පීඩාවට පත් පුද්ගලයින් අසු අටදහසක් හදුනාගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
වතුකරයේ ජනතාවට වියළි සලාක මලු ලබා දීම සම්බන්ධයෙන් සමුපකාර සමිති , සතොස ශාඛා සහ සමෘද්ධි කාර්යාල වල ප්‍රමාණවත් තරම් තොග රැස්කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.