කොරෝනා හේතුවෙන් රටපුරා බීජ හිඟයක්


(කාංචන කුමාර ආරියදාස)

කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ රට පුරා බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බවත් ඒ මහතා කීය.

එහිදී අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසීය.

      ‘‘මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාවක් ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගා කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

වෙළඳ සැල්වල බීජ ලබා ගැනීම සඳහා ගොවීන් පෙළඹී සිටින බවත් එහෙත් දේශීය බීජ නොමැතිවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව තිබෙනවා.

විදේශීය දෙමුහුන් බීජ මෙරටට ගෙන්වා වගා කිරීමේදී දෙවැනි පරම්පරාවක් නෑ මේ හේතුව නිසා දේශීය ගොවිතැනට හානි සිදුවෙලා.

මෙම දේශීය බීජ සඳහා ඇති ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම ලෙස දෙමුහුන් බීජ  ලබාගෙන දේශීය බීජ බවට කලවම් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි ද සැකයක් මතුව තිබෙනවා.

දේශීය බීජ ප්‍රවර්ධනය කිරීම රජයේ කඩිනම් අවදානය යොමුවිය යුතුය.මෙම දේශීය බීජ මෙරට තුළම වැඩිදියුණු කර වැඩි අස්වැන්නක් ලබාදීම සඳහා ලබාදීමට පුළුවන්.ඒ සඳහා විශේෂඥවරුන් ඕනෑ තරම් මෙරට සිටිනවා.

මෙම බීජ ජාවාරම පිළිබඳව සහ බීජ සොයා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජයට ලබා දීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සූදානමින් සිටිනවා.‘‘