කොරෝනා ලක්ෂණ ඇත්නම් බළන්ගොඩ රෝහලේ වෙන්වූ ඒකකයට එන්නැයි ඉල්ලයි


ප්‍රින්ස් රත්නායක

සුළු හෝ කෝවිඩ් රෝග ලක්ෂණ පහළවී ඇත්නම් බාහිර රෝගී අංශයට හා හදිසි ප්‍රතිකාර ඒකකයට නොගොස් වෙන්කර ඇති විශේෂ එකකයට පැමිණෙන්නයි බළන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් බළන්ගොඩ රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිති.

රෝග ලක්ෂණ පහළවූ වහාම 0701009090 අංකයට වහාම දැනුම් දීමක් කරන ලෙසත්, බාහිර රෝගී අංශය හෝ හදිසි ප්‍රතිකාර ඒකකයට නොගොස් තමන්ගේ සහ අනෙකුත් රෝගීන්ගේත්, රෝහල් කාර්ය මණ්ඩලයේත් සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස දන්වා සිටියි.

රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා විශේෂිත දුරකථන අංක කීපයක් පසුගියදා හඳුන්වාදුනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බළන්ගොඩ රෝහල් සංගමය මගින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මොබිටෙල් ආයතනය සහ රම්‍යා ලංකා ආයතනය මගින් 27 වැනිදා තවත් දුරකථන 10 ක් ලබාදීම බළන්ගොඩ මූළීක රෝහළේදී සිදු කෙරුණි.

එම අවස්ථාවට රෝහළ වෛද්‍ය අධිකාරී ඉරේෂා පතිරගේ මහත්මිය හා වෛද්‍ය කේ.ජේ.කේ කොතලාවල මහතා සහ මොබිටෙල් ආයතනයේ පිරිසක් සහභාගීවූහ.

ඒ අනුව රෝහලේ සියලුම අංශ සඳහා දුරකථන පහසුකම් සලසා ඇති අතර එමගින් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ පහසුව සලසා ඇති බව වෛද්‍ය කොතලාවල මහතා සඳහන් කළේය.

"නිරතුරුව සම්බන්ධ වන්න හා ආරක්ෂිතව සිටින්න ” යන පණිවුඩය රෝහළ මගින් ජනාතාවට ලබාදෙයි.