කුරුවිට සිසුවාගේ හෙලිකොප්ටර් යානය බලන්න සබරගමු ආණ්ඩුකාරවරයා යයි


(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (04) කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ අංශයෙන් උසස්පෙළ හදාරන ඒ.එල්.තරුෂික දිලංක ශිෂ්‍යා නිපද වූ හෙලිකොප්ටර් යානයක ආකෘතිය නිරීක්‍ෂණයට ලක් කළේය.

එය පණගන්නවා අවරපෙතිවල ක‍්‍රියාකාරීත්වයද නිරීක්‍ෂණය කළ ආණ්ඩුකාරවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද මෙම හෙලිකොප්ටර් යානයේ ආකෘතිය පිළිබඳව දැනුවත් කරන බවද දැනුම් දුන්නේය.

නියමුවාට පමණක් යා හැකි සැබෑ හෙලිකොප්ටරයකට සමානව එය නිර්මාණය කර තිබීම විශේෂත්වය විය.

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ දිනයට සමගාමීව පැවැත්වුණු ‘‘ටෙක් මයින්‘‘ තාක්‍ෂණ විද්‍යා ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට සකසා තිබුණි.

පළාත් ආණ්ඩුකාරවරයා මෙම සිසුවාට රුපියල් 25000 ක මුදලක්ද පරිත්‍යාග කළ අතර  රුපියල් ලක්‍ෂ දෙක හමාරකට ආසන්න මුදලක් ඊට වැයවූ බව තරුෂිකගේ පියා පැවසීය.

සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.