කැපුම් තුවාල සහිත මළ සිරුරක් හංවැල්ලෙන්



 
 
(කේ බුද්ධික කුමාරසිරි සහ හංවැල්ල එච්.එස්.ඒ නන්දන)
 
හංවැල්ල වග මාඹුල ප‍්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ පුද්ගලයකු බරපතල කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද මිය ගොස් සිටියදී අද (11) දහවල් සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.


පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු තොරතුරක් මත හංවැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් ගොස් සිදු කළ පරීක්ෂාවේ දී මෙම මළ සිරුර හමු වූ බවත් එම සිරුරෙහි අත්වල සහ පාදයෙහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවත් එම නිවසේ ජනෙල් වීදුරු කඩා බිඳ දමා තිබූ බවත් පොලිසිය පවසයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි කේමරාජ් දීපාල් ගොඩගේ නමැති 52 හැවිරිදි සිව්දරු පියෙක් වන අතර මොහු සිය පවුලේ අනෙක් පිරිසගෙන් වෙන් වී අදාළ නිවසෙහි හුදකලාව ජීවත්ව ඇති බවද සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.