කවුඩුලු වැව් දියේ ගිලී ධීවරයෙක් මරුට


(චාපා මධුභාෂිණි)

මැදිරිගිරිය කවුඩුලුවැවේ මාළු දැල් එලීමට ගිය ධීවරයෙක් දියේ ගිලී අද (02) මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙලෙස දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ අංක 4, සුහදපුර, නවනගරය ලිපිනයේ පදිංචි පවතිනාමුණි ආරච්චිලාගේ ශාන්ත නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ධීවරයා තවත් ධීවරයින් පිරිසක් සමඟ සවස 3.30 පමණ කවුඩුලුවැවට ගොස් ඇති අතර එහිදී මොහු දැල එළමින් සිටියදී දැලළකකුලේ පැටලීමත් සමඟ වැවට වැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී අනෙක් ධීවරයින් කිසිවෙකුත් දැක නැති අතර පසුව මොහු සෙවීමේදී දියේ ගිලී සිටිනු දැක ඇත. පසුව මොහු ගොඩට ගන්නාවිටත් මරණයට පත්ව සිටි බව ධීවරයින් පොලිසියට පවසා ඇත.