කලාප කාර්යාලයෙන් දමිළ පාසල්වලට සිංහල ලිපි එවුවාට ගුරුවරයකු විරෝධතාවක


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි) 
 
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් දමිළ පාසල්වලට කලාප කාර්යාලයෙන් හා මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබෙන ලිපි බොහොමයක් සිංහල භාෂාවෙන් පමණක් එවීම නිසා තමන් ඇතුළු දමිළ ගුරුවරුන් දැඩි අපහසුතාවයට ලක්වන බව කියමින් මවුසාකැලේ දෙමළ විදුහලේ ගුරුවරයෙකු වන ගනේෂන් උදයකුමාර් මහතා අද(25) එම කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නියැලුණේය.

අදාළ ලිපි ලේඛන දමිළ භාෂාවෙන් හා ඉංග‍්‍රීසි භාෂාවෙන් තම පාසල්වලට යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

විරෝධතාවයෙන් පසුව තමා පුරහලේ පැවැත්වෙන ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජංගම සේවාවට ගොස් කරුණු කියන බවද එම ගුරුවරයා තවදුරටත් කියා සිටියේය.

දෙවැනි භාෂාව ලෙස සිංහල භාෂාවෙන් වැඩ කිරීම ඉතා වැදගත් බවත්, ඇතැම් සිංහල වචන තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ඇතැම් ගුරුවරුන් අපහසුතාවයන් වලට ලක්වීම වළක්වා ගැනීමට තමා මෙසේ පියවරක් ගත් බවය.

මේ සම්බන්ධව නුවරඑළිය කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අමරසිරි පියදාස මහතාගෙන් කරුණු විමසා සිටියදී ඒ මහතා සඳහන් කර සිටියේ සිංහල භාෂාවෙන් පමණක්වත් ඉදිරියේදී ලිපි ලේඛන යැවීමේ දුෂ්කරතාවයට කලාප කාර්යාලය මුහුණ දී ඇති බවය. මේ වන විට, කලාප කාර්යාලයේ කළමණාකාර සහකාරවරුන්ගේ 35 දෙනෙකුගේ පුරප්පාඩුව තිබෙන බවත්, එය කාර්යාලයේ කටයුතු වලට දැඩි ලෙස බලපා ඇති බවත්, කලාපයේ පාසල් අතර සන්නිවේදන කටයුතු කරගෙන යන්නේ දැඩි දුෂ්කරතාවයකින් බවත් හෙතෙම පැවසීය.