කම්බි මදු යොදා ගවයින් - මුවන් ඝාතනය කළ අයෙකු අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)

රජය විසින් තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයේ ගවයින් සඳහා වෙන් කර ඇති තෘණ භූමිය පිහිටි ප්‍රදේශයේ කම්බි මදු යොදා ගවයින් හා මුවන් දඩයම් කර මසට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට  ගත්බව තිස්සමහාරාම පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම,සදගිරිගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

තිස්සමහාරාම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අමරවැව තෘණ භූමිය පිහිටි ප්‍රදේශයේ සිදුකළ සොදිසියකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිළධාරින් එහි යන විටත් ගවයින් තිදෙනෙකු කම්බි මදු වලට හසුව සිට ඇති අතර එක් ගවයෙකු ඒ වන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පැවසීය.

ගවයින් දෙදෙනෙකුගේ ජීවිත පොලිසිය විසින් බේරාගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු කම්බි මද්දට හසුව මියගොස් සිටි ගවයා මස් කිරීමට සුදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර එක් සැකකරුවෙකු පොලිසියෙන් බේරී පැන ගොස් ඇති බව පොලිසිය කීය.

සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ කම්බි මදු තියා මෙම තෘණ භූමියට පැමිණෙන ගවයින් හා මුවන් දඩයම් කර මස් කර ප්‍රදේශයේ හෝටල් වෙත අලෙවි කර ඇති බවට මුලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කීය.