කබලෙන් ළිපට වැටුණු නවගත්තේගම වට්ටක්කා ගොවීන්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

            වට්ටක්කා වගා කළ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ගොවීන්ට සාර්ථක අස්වැන්නක් නෙලා ගත හැකි වුවත් මේ වන විට එම වට්ටක්කා සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවී තිබේ.

නියඟයට මුහුණ දෙමින් වට්ටක්කා  වගා කළත් මේ වන විට එම අස්වැන්න අලෙවි කර ගැනීමට කිසිඳු වැඩපිළිවළක් නොමැති බව ගොවීහු කියති.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ප්‍රධාන නගරවල වෙළඳ පොළවල්  වසා දැමීමත් වෙළෙන්දන් තම ගම්මාන කරා නොපැමිණීමත් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව ගොවීහු පැවසූහ.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාමිණිපුර  , කෝන්කඩවල හා ඉගිනිමිටිය යන ගම්මානවල ගොවීන් සිය වට්ටක්කා අස්වැන්න නිවෙස් වග ගොඩ ගසා ගෙන සිටින බවත් වට්ටක්කා කිලෝවක් රුපියල් 35 කටවත් විකුණාගත නොහැකිවී ඇති බවත් ඔවුහු කියති.

ගොවීන්ගේ නිවාස වල වට්ටක්කා කිලෝ 2000 ත් 4000 ත්  අතර ප්‍රමාණයක් ඇති බවත් ඔවුහු පැවසූහ.

මෙවර නවගත්තේගම ගොවීන් වගා කළ වට්ටක්කා විකුණා ගැනීමේ අසීරුතාවක් මතුවී ඇතැයි පැවැසීම සත්‍යයක්. මේ වන විට වට්ටක්කා කිලෝ 40,000 කට වැඩි ප්‍රමාණයක් ගොවීන්ට නෙලා ගත හැකිවී ඇති තියෙනවා. අපි ගැණුම්කරුවන් රැසක් හා කළ සාකච්චාවලින් පසු කිහිපදෙනෙකු කිලෝවක් රුපියල් 40 බැගින් මිලදි ගන්න එකඟවුණා යැයි නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ බ්‍රයන් ගෝමස් මහතා පැවසීය.