කන්දකැටියේ ගම්මිරිස් ගොවිහු සහතික මිලක් ඉල්ලති


(ඞී.කේ.රත්න)

රජය විසින් ගම්මිරිස්වලට රුපියල් 900ක සහතික මිලක් නියම කරන බව පැවසුවද මේ වනතුරු එය සිදු නොකල බැවින් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බැස රජයට විරුද්ධව දැවන්ත උද්ඝෝෂණයක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (21) බදුල්ල කන්දකැටිය වාසනාගමදී පැවසීය.

විදේශීය රටවලින් ගම්මිරිස් ආනයනය කිරීම නිසා වෙනත් වසරවල රුපියල් 2000 ට තිබූ ගම්මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 500 කට විකුණාගත නොහැකි බැවින් මේ වන විට ගොවි ජනතාව තම ගම්මිරිස් අස්වනු අත්හැර ඇති බවත් මෙයට රජය වගකිව යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ප‍්‍රදේශයේ ගම්මිරිස් ගොවීන්ගේ ගොවි ගැටලූ සාකච්ඡා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.