(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් වියළුව, ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙකු අද(23) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, නිධානය හැරීමට රැගෙන ගිය ගල්කටු, අලවංගු, තාච්චි ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 28 සහ 36 වයස්වල පසුවන තිදෙනෙකි.
පොලිසිය ලද ඔත්තුවක් මත මහ වැසි මැද මහ කැලෑව මැදින් කිලෝමීටර් දෙකක් පමණ වූ දුෂ්කර කඳු වැටියක් තරණය කර ගොස් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
ඔලගංගොඩ ඓතිහාසික පැරණි රජ මහා විහාරස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ ගල් ගල්තලාවක තිබූ තලගොයෙකුගේ සලකුණක් ඉලක්ක කරගනිමින් මෙම නිධන් හාරා ඇති අතර සැකකරුවන් එම තලගොයි රූපයටද හානි සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අද (23) මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතය.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

