(බිමල් ශ්‍යමන් ජයසිංහ)
රිමාන්ඩ් භාරයේ සිටින පාතාල නායකයෙකු වන දිනෙත් මිලන් හෙවත් ඌරුජුවා නැමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතන හරහා තර්ජනය කර ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලන ලද කප්පම් මුදල් එක්රැස් කරන පුද්ගලයෙකු කඩුවෙල බියගම දී අද (16) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ බැංකු පොතක් , යතුරු පැදියක් සහ සිම්පත් දෙකක් පොලිසිය භාරයට ගෙන තිබේ.
අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල, නවගමුව සහ හංවැල්ල ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන කර කප්පම් මුදල් බැංකු ගත කරගෙන තිබූ බව පොලිසිය කියයි.
ඌරුජුවා නැමැත්තා සැකකරුට දුරකතනයෙන් ලබාදෙන උපදෙස් මත ඒවා විවිධ පුද්ගලයන් අතරට පත්කර තිබුණේ මෙම සැකකරු බවද පොලිසිය කියයි.
ඌරුජුවා කඩුවෙල අධිකරණයට රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන්ට කඩුවෙල අධිකරණයේදී ඌරුජුවා අතට පත් කිරීම සඳහා ජංගම දුරකතන සිම්පත් 5 ක් ලබා දුන් බව ද සැකකරුගෙන් හෙළි වූ බව පොලිසිය සඳහන් කළේය.

