උසස් පෙළ සිසුන්ට අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ පත්‍රිකාවක්


(ඩයනා උදයංගනී)

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විභාගයෙන් අනතුරුව මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදීමේ අරමුණින් මාර්ගෝපදේශ පත‍්‍රිකාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

        ‘‘19 + ජයග‍්‍රාහී මාවතක් කරා‘‘ යන තේමාව යටතේ මෙම මාර්ගෝපදේශ පත‍්‍රිකාව සකස් කර තිබේ. එය සම්පාදනය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසිනි.

උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු දරුවන්ට විධිමත් හා පිළිගත් උසස් අධ්‍යාපන ප‍්‍රවේශයක් සකස් කරදීමට මගපෙන්වීම සහ විභාගයෙන් පසු ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා අත්වැලක් සැපයීම එහි මූලික අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

        විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්වී විශ්ව විද්‍යාල වරම් ලබන දරුවන්ට ඇති විශ්ව විද්‍යාල පාඨමාලා පිළිබඳ තොරතුරු ලබාගත හැකි ආකාරය, උසස් පෙළ සමත් එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබන දරුවන්ට උපාධි/ ඩිප්ලෝමා සහ වෘත්තීය පාඨමාලා හැදෑරිය හැකි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපන ආයතන, එන්.වී.කිව් ඩිප්ලෝමා හා උපාධි හැදෑරිය හැකි ආයතන , ව්‍යවසායකයකුවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාගත හැකි ආයතන ආදී තොරතුරු එම පත‍්‍රිකාවෙහි ඇතුළත් කර තිබේ.

     මෙම අත්පත‍්‍රිකාය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ නිලධාරීන් විසින් පසුගියදා සිදුකළ අතර මේ වන විට එය විභාග දෙපාර්තමේන්තුව හරහා විභාගයට පෙනී සිටි දරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

       ඉදිරියේදී මෙම අත්පත‍්‍රිකාවට අදාළ තොරතුරු සවිස්තරාත්මකව ඇතුළත් කරමින් උසස් පෙළ සිසුන්ට ලබාදීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශ අත්පොතක් සකස් කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.