උතුරේ ළමා අමාත්‍යංශයේ අවභාවිතාවක් ගැන විමර්ශනයක් අරඹයි


එෆ්.අස්ලම්
 
 
උතුරු පළාත් වනිතා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 32ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
මෙම විමර්ශනය සඳහා ආණ්ඩුකාරවරයා විසින් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්,පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ගණකාධිකාරීවරයාගෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
 
විමර්ශනයේ වාර්තාවක් සතියක කාලයක් තුළ තමා වෙත ලබා දෙන ලෙසටද විමර්ශක නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර ඇත.
 
හිටපු උතුරු ආණ්ඩුකාරවරු චන්ද්‍රසිරි මහතා විසින් ආණ්ඩුකාරවරු අරමුදලට යටතේ තබාගත් පළාත් සභාවේ මුදල් කරමින් වකුගඩු හා හදවත් රෝගීන්ටද ඇතුළු උතුරු පළාතේ රෝගීන් සඳහා ආණ්ඩුකාරවරු අරමුදල යටතේ ආධාර කිරීමට කටයුතු කර තිබිණි.
 
පසුකාලයේ උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුකාරවරයා විසින් සිය අරමුදල යටතේ තැන්පත් කර තිබූ මෙම මුදල් පළාත් සභාවේ අමාත්‍යංශ හා දෙපාර්තුමේන්තු වෙත වෙන්කර දී තිබිණි.
 
මෙම මුදල් පළාත් සභාවේ අනුමැතිය මත නිසි පරිදි වැය කළ යුතු බවට උතුරු පළාත් සභාව තීරණය කර තිබීමත් එම තීරණයට පටහැනිව පළාත් වනිතා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 32ක මුදලක් ප්‍රශ්න සහගත ලෙස වැය කර ඇති බවටත් චෝදනා එල්ල වීමත් මත පළාත් සභාවේ හිටපු සභාපති සි.වී.කේ.සිවඥානම් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එම ඉල්ලීමට අනුව මේ පිළිබද විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් සතියක කාලයක් තුළ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා විසින් විමර්ශක නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.