ඉසෙඩ් ඩී ඇලට වැටුණු අලියෙකු පැය 10 ක මෙහෙයුමකින් පසු ගොඩගනී


(නිමල් ජයරත්න)

 
මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට අද (13) වැනිදා වැටුණු වන අලියෙකු පැය 10 ක මෙහෙයුමකින් පසු ගොඩට ගෙන අලූත්වැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වනජිවි නිලධාරීහු පැවසුහ.
 
අරලගංවිල වීරාන ප‍්‍රදේශයෙන් ප‍්‍රධාන ඇලට වැටුණ මෙම අලියා ජලයේ සැඩපහරට කිලෝමිටර් 10 ක් පමණ දුරට ගසාගෙන ගොස් මැදගම ප‍්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරය අසල ඇති යකඩ සොරොව්ව අසලින් ගොඩගත් බව වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර් ශාන්ත මහතා පැවසීය.
 
පොළොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂ කිර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් අනුව පොළොන්නරුව සහ වෙහෙරගල වනජිවි නිලධාරින් එක්ව සිදුකළ මෙම මෙහෙයුමෙන් ගොඩට ගත් වනඅලියාගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවත් උස අඩි 9 යකින් යුත් අලියෙකු බවද මෙහෙයුමට එක්වූ වනජීවී නිලධාරීහු පැවසුහ.