ඉපලෝගම නිවසකින් මියගිය හිමිනමකගේ දේහයක් හමුවෙයි


(කුෂාන් ජයවර්ධන)
 
මියගිය තරුණ හිමිනමකගේ දේහයක් ඉපලෝගම හිරිපිටියාගම ප‍්‍රදේශයේ නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව ඉපලෝගම පොලිසියේ පැවැසීය.

 
මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප‍්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි හිමිනමක බව පොලිසිය පවසයි. අපවත්ව සිටි හිමිනම කුඩා කළ එම නිවසේ වාසය කර ඇති බවත් ඊයෙ (15) එම හිමිනම අදාළ නිවසට පැමිණ ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
 
අදාළ හිමිනම මහනුවර මතුරට ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 27 හැවිරිදි වියේ පසුවෙති. ගිහි කාලයේ යුධ හමුදා සේවයේ නිරතව සිටි ඇති එම හිමිනම වෛද්‍ය හේතූන් මත පසුව සේවයෙන් විශ‍්‍රාම ගෙන ඇති බව පොලිසිය කියයි.
 
හිමි නමගේ එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (16) කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා විසින් පැවැත්වූ අතර එහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට ලබා දී තිබූ නියෝගයක් අනුව එම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ඉපලෝගම පොලිසිය කටයුතු කර තිබේ.
 
හිමිනමගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න සොයා බැලීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.