ඇමති ආරක්ෂක ඒකකයේ සැරයන්වරයෙකු දුම්රියකට යටවී මරුට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ඇමති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු අද(3) වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියකට යටවී මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ඇමති ආරක්ෂක ඒකකයට අනුයුක්තව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ රාජකාරියේ නියුතු, රඹුක්කන ගොන්නගහතැන්න ප‍්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන් ආනන්ද විශ්වජිත් ප‍්‍රනාන්දු  නැමැති 52 හැවිරිදි අයෙකි.

අද මීරිගම සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේ මොහුගේ සිරුර දුම්රිය මාර්ගයේ වැටී තිබියදී ආරක්ෂක අංශයට හමුවී ඇත.

මිය ගිය පුද්ගලයා ළඟ තිබී බෙහෙත් අඩංගු බෑගයක් ද හමුවී ඇතැයි පොලිසිය කියයි.

බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා දේහය වතුපිටිවල මූලික රෝහලට ගෙන යන ලෙසට පොලිසියට උපදෙස් දෙනු ලැබීය.

මියගිය අය මෙම දුම්රියේ ගමන් කරමින් සිටියදී වැටීමෙන් අනතුරට ලක්වූවාද නැතහොත් වෙනත් ආකාරයකින් මරණය සිදුවූවාද යන්න සොයා බැලීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.