ඇඳිරිය අස්සේ සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට


 

(එස්. ඩි. කොඩිකාර )
 
 ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොටපොළ ප්‍රදේශයේ වෙළඳ සැලක් බිඳ එහි තිබූ රුපියල් 175,000වටිනා  සිගරට් , මුදල් ,ජංගම දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කර පලා ගිය පුද්ගලයකු අද (11) ගැටබරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි.
  
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරුට එරෙහිව මේ වන විට  මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිදුම් නඩු තුනක් සහ ස්ත්‍රී දූෂණ නඩුව ක් විභාග වෙමින් පවතින බව පොලිසිය පැවසීය.
  
සැකකරු අදාළ වෙළඳසැල බිඳ එහි තිබූ රුපියල් 128,000.00 වටිනා සිගරට් බන්ඩල 10 ක් , රුපියල් 40,000 වටිනා ජංගම දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොගයක් සහ මුදල් රුපියල් 7000  සොරකම් කරගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
 
 සැකකරු වෙළෙඳ සැලේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියට හානි කර විදුලිය විසන්ධි කර මෙම සොරකම සිදු කර ඇත්තේ  මුළු ශරීරයම වැසෙන ආකාරයට පැළඳගත් ඇඳුමක් උපයෝගී කරගෙන බවත් එම ඇඳුමද සැකකරුගේ නිවසේ සෝදා වැළක දමා තිබියදී සොයා ගත් පොලීසිය කියයි. 
 
 සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පැළද සිටි යට ඇඳුමේ සඟවා තිබූ සොරකම් කළ මුදල් රුපියල් 7000 ක් කඹුරුපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුට විකුණා  තිබූ  සිගරට් බන්ඩල 05 ක්  සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල් 64,000 බව පොලිසිය කියයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවසීය.