ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිත කරමින් මත්කුඩු ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට


( තිලකරත්න දිසානායක.)

කන්ටේනර් ප්‍රවාහනය පිනිස වරාය පරිශ්‍රයට යාම සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් මත් කුඩු ප්‍රවාහනයේ යෙදුනු බව කියන රියදුරෙකු සහ කුඩු අලෙවි කළ අයෙකු මල්වතුහිරිපිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 900 ක ප්‍රමාණයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව එම පොලිස්ථානයෙහි උසාවි කටයුතු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.රණවීර මහතා පැවසීය. 

පොලීසියට ලැබී ඇති තොරතුරක් මත කිඹුල්ගොඩ සහ අස්ගිරිය යන ප්‍රදේශයන්හි පදිංචි 49 සහ 32 හැවිරිදි මෙම පුද්ගලයින් දෙදෙන අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී රියදුරා වරායට ගොස් පැමිණීමේදී පෑලියගොඩ ප්‍රදේශයෙන් මත්කුඩු රැගෙන විත් අලෙවි කිරීම පිණිස අනෙක් පුද්ගලයාට ලබාදෙන බව අනාවරණයවී තිබේ.

මොවුන් දෙදෙනා මත් කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවද හෙළිවූ බවද පොලීසිය සදහන් කරයි. 

මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රණවීර මහතා විසින් මොවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.