ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි


(ඩයනා උදයංගනී)

           

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද (03) වැඩ බාරගත්තේය.

යුද හමුදාවේ වසර 39ක් සේවය කර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර යුද හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියකුද වේ. 

පාකිස්තානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද අධ්‍යයන පිළිබදව ප‍්‍රථම උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති රණසිංහ මහතා චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද සහ දේශපාලන ක‍්‍රමෝපායන් පිළිබඳ උපාධිය ද හිමිකරගෙන ඇත.

සිය සේවා කාලය තුළ යුද ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බළකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක‍්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුළු තනතුරු රාශියක් හොඹවා ඇති ඒ මහතා රණවික‍්‍රම, රණශූර සහ දේශපුත‍්‍ර ඇතුළු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම, අරණායක සාමසර කන්ද නායයාම, ගංවතුර ආපදා, කොස්ගම, ශාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීම ආදී ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කටයුතු සඳහාත් ඔහු විසින් නායකත්වය ලබාදුන්නේය.