අ’පුර ශික්ෂණ රෝහලේ සේවකයෝ වහලට නැග විරෝධයක


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ පස්දෙනෙක් අද(18) රෝහල් භුමියේ පිහිටි උස් ගොඩනැගිල්ලකට නැග විරෝධතාවක නිරතව සිටිති.
 
රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දුලාන් සමරවීර මහතා වහාම පත්කරන ලෙසත්  රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයන්ට බැණ වදිමින් අශීලාචාරව හැසිරෙන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චින්තක බටවල මහතා ඉවත් කරන ලෙසත් ඉල්ලා ඔවුහු විරෝධතාවයේ නියැළෙති.
 
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු මාණ්ඩලික හෙද නිලධාරී  ජී.එම් සුමිත් බණ්ඩාර  මහතා මෙසේ පැවසීය.
 
“රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තක බටවල මහතා  දිගින් දිගටම අශිෂ්ට සම්පන්න විදියට රෝහලේ සේවක මහත්ම මහත්මීන්ට තර්ජනය කර බැණවැදී තිබෙනවා.  ඔහු සම්බන්ධයෙන් පවතින එම පරීක්ෂණ මේවන විට යටපත් කරලා. බරපතල සිද්ධි රැසක් එතුමාට විරුද්ධව තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්වරියට සහ බලධාරින්ට පැමිණිලි කළා. අපි ඉල්ලා සිටියා මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා රෝහලේ වෙනත් ස්ථානයකට මාරු කර විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා. එහෙත් එය මෙතෙක් ඉටුවී නැහැ. එය තවදුරටත් සිදුවුණේ නැතිනම් හෙට සිට(19) අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලු වෘත්තිය සංගම් එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ක්‍රියාකරනවා”

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයේ අනුරාධපුර රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතාන මහතා ගෙන් කළ විමසුමේදි හෙතෙම මෙසේ පැවසීය.
 
“අනුරාධපුර ශික්ෂණ රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ රෝහල් අධ්‍යක්ෂකවරයෙකු පත් කර නැහැ. මෑතකදි වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පත්කර තිබෙනවා. ඔහු උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරනවා. අනුරාධපුර ශික්ෂණ රෝහල රටේ තුන්වන විශාලතම රෝහලයි. ඒ නිසා අපි රෝහලට නව අධ්‍යක්ෂකවරයෙකු පත්කරන ලෙස ඉල්ලා සිටියා. එසේ නොමැති නම් රෝහලේ පසුගිය කාලයේ වැඩ බලපු රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පත්කරන ලෙස ඉල්ලා සිටියා. අපේ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය පසුගිය 11 වැනි දින වාචිකව අනුමැතිය ලබා දුන්නා. එහෙත් තවමත් එම ප්‍රකාශය ක්‍රියාත්මක වී නැහැ.
 
එසේම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තක බටවල මහතා එම තනතුරින් ඉවත් කර ඔහුට විරුද්ධව තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන්  ඉල්ලා සිටියා. එහෙත් මෙම ඉල්ලීම් තවමත් ඉටුවී නැහැ. සේවකයන් මෙලෙසින් විරෝධය පළකරන්නේ ඊට විරුද්ධවයි”
 
මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් හෙට (19)දින සිට රෝහලේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.