(මනෝප්‍රිය ගුණසේකර)
අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.