අප්‍රිකානු රටවල සිට පැමිණ නිරෝධායනය වූ 104 ක් පිටව යති


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
අප්‍රිකානු රටවල් 6ක සිට මෙරටට පැමිණි පුද්ගලයින් 104 දෙනෙකු දඹුල්ල පැල්වෙහෙර රජයේ ගොවි පුහුණු මධ්‍යස්ථානයේ දින 28 කාලයක් නිරෝධායනය වී  සිය නිවෙස් වෙත යැවීම අද (18)  සිදුකෙරිණි.
 
යුද හමුදාවේ 53 වැනි අතිරේක ප්‍රහාරක සේනාංකය විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමෙන් අනතුරුව ඔවුන් නිවෙස්වෙත යැවීම සිදුකරනු ලැබීය.
 
අප්‍රිකානු රටවල් වන උගන්ඩාව, මැඩගස්කරය, කෙන්යාව,  රුවන්ඩාව , ටැන්සානියාව, මොසම්බික් ආදී රටවල සිට පුද්ගලයන් 106 දෙනෙකු මෙම ස්ථානයට ගෙනැවිත් තිබුණු අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු කොරෝනා  ආසාදනය වූ අය බව හඳුනාගෙන තිබිණි.
 
ඉතිරි පිරිස දින 28 ක කාලයක් යුද හමුදා නිලධාරීන් යටතේ නිරෝධායනය කිරීම සිදුකර තිබිණි.
 
ඒ අනුව මෙම දඹුල්ල පැල්වෙහෙර රජයේ  පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිස් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා එක්වූ 53වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න මහතා කියා සිටියේ රජයේ සහ මහජනතාවගේ මුදල්වලින් නිරෝධායන කටයුතු සිදුකළ ආහාරපාන සෞඛ්‍ය සියලු පහසුකම් ලබා දුන් මෙම පිරිස සමාජයට මුදා හැරීමෙන් පසුව සමාජය වෙත වගකීම් ඉටු කරන පිරිසක් බවට පත් විය යුතු බවය.
 
දින 28ක  නිරෝධායන කාලය අවසන් කළ අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි කිහිප දෙනෙක් යුද හමුදාව සහ රජය සිදුකරන මෙහෙය පිළිබඳව දැඩි අගය කරන බව පැවසූහ. ඔවුන් කියාසිටියේ යුදහමුදා නිලධාරීන් සුවිශාල වූ කාර්යභාරයක් තමන් වෙත ඉටුකළ බවයි. එමෙන්ම අප්‍රිකානු රටවල මෙම වසංගතය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති සිද්ධීන් සහ මෙරට සිද්ධීන් බැලූ කළ ඉතා පැහැදිලි වෙනසක් පවතින බව ද එම පිරිස පැවසූහ.