අනතුරකින් පැළෑටියාවේ දේවමිත්තාලංකාර හිමියෝ අපවත් වෙති


(නිමල් ජයරත්න)

දිඹුලාගල සොරුවිල මාර්ගයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමියන් හදිසි අනතුරකට ලක්ව අපවත් වී ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

වාහනය මාර්ගයෙන් ඉවතට පැන මයිල ගසක ගැටීමෙන් සිදුව ඇති අනතුරෙන් එහි රියදුරුට ද බරපතල තුවාල ලබා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය පවසයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ පැලැටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත්වන විට 36 වන වියෙහි පසු වූ අතර උන්වහන්සේ පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස ද පළාතේ ජාතික ආගමික සාමාජිය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකර ඇති භික්ෂුවකි.

උන්වහන්සේගේ දේහය පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආදාහන පුජෝත්සව කමිටුව සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.පි.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.