(මොහොමඩ් ආසික් )
මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන 4 වනදා දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.
අකුරණ ප්‍රාදේශිය ලේකම් ඒ.එච්.එම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ අකුරණ ප්‍රදේශය හුදකලා කිරීමෙන් පසුව පිට ප්‍රදේශවල සිට අකුරණ ප්‍රදේශයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සඳහා ලබා දී තිබූ අවසරපත් තාවකාලිව නවත්වා ඇති බවය.
මෙතෙක් සිදු වූයේ පිට ප්‍රදේශවල සිට ගෙන එනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ මාර්ග බාධකවලදී වෙනත් වාහනවලට මාරු කර අකුරණ තුලට ප්‍රවාහනය කිරීමයි.
ඒ අනුව දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශය තුලට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒම නවත්වන බවත්, හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශය ඇතුලත අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර ඒ ඒ ආකාරයෙන්ම වලංගු වන බවත්ය.