‘‘බැදුම්කර සිද්ධියට වැඩියෙන්ම චෝදනා එල්ල කළේ මගේ පක්ෂයේ සමාජිකයන්‘‘


(මනෝජ් හර්ෂික)

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී තමාටත් තමාගේ බිරිඳ හා දරුවන්ටත් දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර එයින් වැඩි පිරිසක් ම සිය පක්ෂයේ සමාජිකයන් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවැසීය.

වැඩකරන දේශපාලඥයන් නැති කිරීමේ අරමුණින් ඉකුත් කාලය පුරාවටම කුහක දේශපාලඥයන් එම විවෙචන දිගින් දිගටම එල්ල කළ  බව ද අමාත්‍යවරයා කීය.

මේවන විට සැබෑ තත්ත්වය හෙළි වී ඇති බවත් එය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් සඳහන් කළ කරුණානායක මහතා තමන් දිගටම මුදල් අමාත්‍යධුරයේ කටයුතු කළේ නම් වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලු සහගත තත්ත්වය ඇති නොවන්නට ඉඩ තිබුණි යැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ දරුදැරියන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ අවස්ථාවකට අද (14) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.