‘රටේ අභියෝග ජයගැනීමට නම් එකම ජාතියක් ලෙස නැඟී සිටිය යුතුයි‘


( හර්ෂණ තුෂාර සිල්වා )
 
රට මුහුණ දී තිබෙන අභියෝග ජයගැනීමට සහ ප්‍රශ්න විසඳා ගැනීමට දේශපාලන පක්ෂ භේද වෙනත් ජාති ආගම් ප්‍රශ්න වගේම අනිකුත් සියල්ල යටපත් කරමින් ජාතියක් විදියට නැඟී සිටින්න ඔබත් මමත් මේ රටේ ජනතාවත් ඇතුළු සියලු දෙනා එකට අත්වැල් බැඳ ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ප්‍රකාශ කළේය. 
 
එසේ සියලු භේද පසෙකළා එකට අත්වැල් බැඳ ගැනීම මේ රටේ හෙට උපදින දරුවන් වෙනුවෙන් අප ඉටු කළ යුතු ප්‍රමුඛ වගකීමක් සහ යුතුකමක් බව සඳහන් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.
 
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
 
ඊට සමගාමීව කලාපීය ඉංජිනේරුවරුන්ගේ සමුළුව ද පැවැත්විණි. තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික ක්‍රමෝපාය සහ අභියෝග යන්න මෙම වාර්ෂික සම්මේලනයේ තේමාව විය.
 
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“ මේ අභියෝගය ජය ගන්න ඔබේ දැනුම ඔබේ අත්දැකීම් ඔබේ අවබෝධය ඔබේ පරිණත බව, ඔබේ අත්දැකීම් ජාතිය වෙනුවෙන් පරිත්‍යාග කරන්න කැප කරන්න කියලා මා ඉතාම ගෞරවයෙන් ඉංජිනේරු ආයතනයෙන් සහ එහි සාමාජිකත්වයෙන් වගේම මේ රටේ සමස්ත ඉංජිනේරු පරපුරෙන් ඔබේ ප්‍රධාන මහජන සේවකයා විදියට ඉල්ලා සිටිනවා. ඒ අභියෝග ජයගන්න සියලු වාදභේද අමතක කරලා වැඩ කළ යුතුයි.
 
දේශපාලන පක්ෂ භේද වෙනත් ජාති ආගම් ප්‍රශ්න වගේම අනිකුත් සියල්ල යටපත් කරමින් ජාතියක් විදියට නැඟී සිටින්න මේ අභියෝග ජයගන්න ඔබත් මමත් මේ රටේ ජනතාවත් සෑම කෙනෙක්ම එකට අත්වැල් බැඳගත යුතුයි. එය මේ රටේ හෙට උපදින දරුවන් වෙනුවෙන් අප ඉටු කළ යුතු ප්‍රමුඛ වගකීමක් සහ යුතුකමක් බව සඳහන් කළ යුතුයි”.  
 
ඡායාරූප - චතුර එස්. කොඩිකාර