විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනයක්


 (නිමල කොඩිතුවක්කු)

සූර්යබල සංග‍්‍රාමය යටතේ විදුලිය මිලදීගැනීමේ  ගාස්තු සංශෝධනය කළ බව විදුලිබල  බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේ  විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය,  ශ‍්‍රී ලංකා සූර්යබල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රයේ ගාස්තු ක‍්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. 

ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට නෙට් ප්ලස් ක‍්‍රමවේදය පමණක් ක‍්‍රියාත්මක කිරීමට  ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා කිලෝ වොට් 50ට අඩු ධාරිතාවන් සඳහා වසර 20ක කාලය තුළ විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව  රුපියල්  19.75 දක්වා සංශෝධනය කර ඇති බවද පැවැසීය.

 එමෙන්ම  කිලෝ වොට් 50 සිට  1000 දක්වා විදුලිය මිලදීගැනීමේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 18.75 ක් ද, කිලෝ වොට් 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රුපියල්  16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

 මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බවත් ඔහු එහිදී පැවැසීය.

මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.