මෙම මැතිවරණයේ දී ජනතාව දුන් ප්‍රධාන පණිවිඩ කිහිපයක් තිබේ. ඉන් එකක් විපක්ෂයටය. විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වුවහොත් ආණ්ඩුව පරාජය කළ හැකි බව එම පණිවිඩයය. දෙවැනි පණිවිඩය ආණ්ඩුවටය. ආණ්ඩුව ශක්තිමත්ව සිටි ඇතැම් ගම්බද ප්‍රදේශවලින් ආණ්ඩුවේ බලය ගැලවෙමින් ඇති බව එම පණිවිඩයය. ඡන්දය වර්ජනය කළ ලක්ෂ 67 ක් වූ ජනතාව ලබාදුන් පණිවිඩය ඒ සියලු පණිවිඩවලින් බලවත්ම පණිවිඩය වේ. එනම් මෙරට කිසිම දේශපාලන පක්ෂයක් විශ්වාස නොකරන ලක්ෂ 67 ක ජනතාවක් සිටින බවය. මෙම පණිවිඩ තේරුම් ගෙන තම තමන්ගේ ගමන්මග සකස් කර ගැනීම ආණ්ඩුවේ සහ විපක්ෂයේ මීළඟ පියවර විය යුතු අතර ඡන්දය වර්ජනය කරන ජනතාව දිනා ගැනීම සියලු දේශපාලන පක්ෂවලට පොදු අභියෝගයකි.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂ තුනේම නායකයන්ගේ බල ලෝභය නිසා ජාතික ජනබලවේගයට රටේ පාලන බලය ලැබුණ ද ඔවුන්ට ඉකුත් මැතිවරණ දෙකේදීම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවීමට නොහැකි විය. ආණ්ඩු බලය ලැබී හත් මාසයකට පසුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ද පැහැදිලිවම පෙනී යන්නේ ආණ්ඩුවට සියයට පනහක බහුතර ඡන්ද බලයක් නොමැති බවය. ප්‍රශ්නය ඇත්තේ එතැනය. තුනෙන් දෙකක අතිවිශාල ජනබලයක් ලැබී තිබියදීත් පළාත් පාලන ආයතන බහුතරය ජයගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. මේ වන විට ආයතන 339 කින් සෘජුව පාලන බලය පිහිටුවීමට රජයට අවස්ථාව හිමිවී ඇත්තේ ආයතන සියයකටත් නොඅඩු සංඛ්‍යාවක පමණකි. මෙම මැතිවරණය ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ පරාජයක් ලෙස මිස ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැක්කේ සභා පිහිටුවීමේ දී මතුව ඇති මෙම දුර්වලතාව නිසාය. ඉකුත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඡන්ද 6863186 ක් ලබාගත් ජාතික ජනබලවේගයට මෙම පළාත් පාලන මැතිවරණයේ දී ලැබී ඇත්තේ 4503930 ක් පමණකි. ඒ අනුව ඡන්ද 2359256 ක් එම පක්ෂයට මෙවර ලැබී නැත. එම පක්ෂය මහ මැතිවරණයේ දී ලබාගත් සියයට 61.56 ක ප්‍රතිශතය මෙවර සියයට 43.37 දක්වා පහළ බැස ඇත.
සමගි ජනබලවේගය මහ මැතිවරණයේ දී ලබාගත් 1968716 ක ඡන්ද ප්‍රමාණය මෙම මැතිවරණයේ දී ඡන්ද 2258480 දක්වා ඉහළ නැග ඇත. ඒ අනුව එම පක්ෂයට ඡන්ද 289764 ක් අලුතෙන් ලැබී තිබේ. මහ මැතිවරණයේ දී ලැබූ සියයට 17.66 ක ප්‍රතිශතය මෙම මැතිවරණයේ දී සියයට 21.69 දක්වා ඉහළ නැඟ ඇත.
මහ මැතිවරණයේ දී ඡන්ද 350429 ක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේ දී ඡන්ද 954517 ක් දක්වා ඉහළ නැග ඇත. ඒ අනුව එම පක්ෂයට ඡන්ද 604088 ක් අලුතෙන් ලැබී තිබේ. එදා ලැබූ සියයට 3.14 ක් ප්‍රතිශතය මෙවර සියයට 9.20 දක්වා ඉහළ නැග ඇත.
ආණ්ඩු පක්ෂය ඡන්ද හතළිස් පන්ලක්ෂ තුන්දහස් නවසියයක් ලබා ගනිද්දී සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එජාපය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස. ස්වාධීන කණ්ඩායම් ඇතුළු සමස්ත විපක්ෂයම ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය පනස් නව ලක්ෂ හයදහස් අටසිය අසූවකි. මේ අනුව ආණ්ඩු පක්ෂයට වඩා ඡන්ද දාහතර ලක්ෂයක් විපක්ෂය හිමිකර ගෙන ඇති අතර එම කණ්ඩායම් සියල්ල එකතු වන්නේ නම් ආණ්ඩුව පරාජයට පත්වීමේ සංඥාව ද එයට අයත්ය.
ඒ අතරම කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදී ඡන්දය වර්ජනය කළ පිරිස ද ලක්ෂ 67 ඉක්මවයි. මෙම පිරිස රටට ගෙන එන පණිවිඩය ද සියලු පක්ෂවල අවධානයට ලක්විය යුතු වන්නේ අනාගත ප්‍රධාන මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මෙම ඡන්දය එපා වූ පිරිස දිනා ගැනීම අවශ්‍යම බැවිනි.
ජාතික ජනබලවේගයට රටේ පාලන බලය ලැබුණ ද ඔවුන්ට ඉකුත් මැතිවරණ දෙකේදීම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවීමට නොහැකි විය.
පාර්ලිමේන්තු මහා මැතිවරණයකට මුහුණ දී මාස හයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් ඡන්ද අඩුවීමක් වෙනත් කිසිදු අවස්ථාවක ආණ්ඩු පක්ෂයකට ලැබී තිබුණේ නැත. ජාතික ජනබලවේගය ඉකුත් මහා මැතිවරණයේ දී ලබාගත් හැටඅට ලක්ෂ හැටතුන්දහස මෙම මැතිවරණයේ දී පහළ බැස ලැබී ඇති ඡන්ද ප්‍රමාණය කිසිසේත්ම ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණයක් වන්නේ නැත. ජනාධිපතිවරයා දරන මතයට සාපේක්ෂ වශයෙන් වෙනස් මතයක් දරමින් ජනතා විමුක්ති පෙරමුණ හා එහි ලේකම් ටිල්වින් සිල්වා ආණ්ඩුකරණයට පිවිසීම වත්මන් ආණ්ඩුව ජනතාව අතර පිරිහීමට ප්‍රධාන හේතුවක් බවට පත්විය.
ජාතික ජනබලවේගයට ආණ්ඩු බලය හිමි වූයේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයාගේ කථිකත්වය නිසාය. 2020 මහ මැතිවරණයේ දී ආසන තුනක් පමණක් ලැබූ ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය ජයගත්තේ එම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් බැහැර පක්ෂයක් යන මතය ජනතාව තුළ ඇති වූ නිසාය. ආචාර්ය හරිනි අමරසූරිය වැනි ජවිපෙ නොවන සරසවි ආචාර්යවරියක් එම පක්ෂයේ කැපී පෙනෙන තනතුරක සිටීමත් ජනතාවට ජාතික ජනබලවේගය තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් විය. එහෙත් මහා මැතිවරණයෙන් පසු ඒ සියල්ල කණපිට හැරුණි. ජාතික ජනබලවේගය වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හැසිරවීම භාර ගත්තේය. පැලවත්ත පක්ෂ මූලස්ථානය ගන්නා තීන්දු ආණ්ඩුවේ තීන්දු බවට පත්වී ඇතැයි විපක්ෂය කරන චෝදනා ජනතාව අතරට ගලා ගියෝය. අලුතෙන් පත්වූ ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයන් වූ මැති ඇමැතිවරුන්ගේ ඇතැම් ප්‍රකාශ පොදු ජනතාව අතර හාස්‍යයට ලක්විය. එදා ආණ්ඩුවට ඡන්දය දුන් විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඈත් වන්නට පටන් ගත්තේ ඉන් පසුවය.
ජාතික ජනබලවේගයේ ඡන්ද ප්‍රමාණය අඩුවීමට එම පක්ෂය ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම ද තවත් හේතුවක් විය.
මෙම මැතිවරණයේ දී ගොවි ජනතාව බහුලව සිටින ප්‍රදේශවලින් ජාතික ජනබලවේගය සැලකිය යුතු අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත. ගලේවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ බලය ජාතික ජනබලවේගයට වඩා එක් ආසනයක් වැඩිවීම නිසා සභාවේ බලය පිහිටුවීමට විපක්ෂය කටයුතු කරනු ඇත. හපුතලේ, රත්ගම වැනි ප්‍රදේශවල පවා ජාතික ජනබලවේගය විපක්ෂයට වඩා පසුපසින් සිටීමට හේතුව ගොවීන් වතුකම්කරුවන් වැනි එම පක්ෂය බලයට ගෙන ඒම සඳහා දායක වූ ජනකොටස් මේ වන විට යම් තරමකින් ජාතික ජනබලවේග රජයෙන් දුරස් වෙමින් සිටීමය.
ආණ්ඩුකරණය යනු එදිනෙදා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා වාචාල බස් දෙඩවීම් නොවේ. එදිනෙදා මතුවන සාමාන්‍ය ප්‍රශ්නවලට මොනවා හෝ උත්තරයක් ලබා දෙමින් කැලැන්ඩරයේ දින පසුකළ ඇමැතිවරුන් පසුගිය ආණ්ඩුවල දැක ගත හැකි විය. ජනතාවටව ඒ පිරිස එපා වී මාලිමාවට බලය ලබා දුන්නේ ඔවුන් කී පරිදි බඩුමිල, විදුලි බිල අඩුකර ඉන්ධන බදු අයින් කර අඩු මිලට ඛනිජ තෙල් ලබා ගැනීමද අරමුණ කරගෙනය. ලබාදුන් පොරොන්දු එසේම තිබියදී රූපවාහිනී තිර ඉදිරිපිටදී මොනවා හෝ දෙයක් කියා මාරු වී යන්නේ නම් මාලිමා ඇමැතිවරුනුත් වැඩබැරි කයිවාරුකාරයන් පිරිසක් බවට හැඟීමක් ඇතිවීම සාධාරණය.
ජාතික ජනබලවේග ආණ්ඩුවේ අතිවිශාල ජනබලය බිඳ දැමීම ආරම්භ කළ පළමුවැන්නා වූයේ අශෝක රන්වලය. කතානායක තනතුරට පත් වූ පසු ආචාර්ය උපාධියක් ඔහුට නොමැති බව තහවුරු වීමෙන් පසු ඔහු තනතුරෙන් ඉවත්ව ගියේ ජාතික ජනබලවේගයට ලැබුණු මධ්‍යස්ථ මතධාරීන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක් ද ගලවා දමමිනි. ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් ගණනාවකගේ උපාධි සහතික පිළිබඳ අවිශ්වාසය දැල්වෙද්දී ඔවුන්ට ලැබී තිබූ ඡන්ද ප්‍රමාණය ද ටිකෙන් ටික යළිත් ඔවුන් ආ පැරණි පක්ෂ වෙතම ආපසු ගියෝය.
තමන්ට මෙම මැතිවරණයේ දී බහුතරය වන සියයට පනහක ඡන්ද ප්‍රමාණය නොලැබෙන බව බුද්ධි අංශ වාර්තාවලින් රජය දැන සිටියේය. අලුත් අවුරුදු සමයටත් පෙර සිටම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ රැස්වීම් ඇමතීමට රට වටා ගියේ ඒ අනුවය. එය එක්තරා දුරකට සාර්ථක විය. ජනාධිපතිවරණයේදී තරම් විශාල ජනතා සහභාගීත්වයක් නොවුවත් මෙවැනි පළාත් පාලන මැතිවරණයකදී සාමාන්‍යයෙන් පැමිණෙන තරම් ජනතාවක් එම මැතිවරණ රැස්වීම්වලට පැමිණියහ. එම සියලු උපක්‍රම යොදා තිබියදීත් රජයට ලැබුණේ සියයට හතළිස් තුනක ප්‍රතිශතයක් පමණකි.
ආණ්ඩු පක්ෂයට ලොකුම ප්‍රශ්නය මතු වන්නේ ඡන්ද ප්‍රමාණය අනුව වැඩි ඡන්ද ලබා ගත්ත ද මන්ත්‍රීවරුන් බහුතරය නොලැබුණු පළාත් පාලන ආයතනවල පාලනය පිහිටුවීමට උත්සාහ කිරීමේදීය. මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මදිවුවහොත් එම ප්‍රමාණය විපක්ෂයෙන් එකතු කර ගැනීමට ඔවුන්ට නොහැකි වන්නේ විපක්ෂයේ සියලුම පක්ෂවල සිටින්නේ හොරුන් බවට ඔවුන් ගෙන ගිය ප්‍රචාරය නිසාය. විපක්ෂයට එවැනි ප්‍රශ්නයක් නොමැති නිසා සජබ, එජාප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ශ්‍රීලනිපය යන ඕනෑම පක්ෂයකට එකට එකතු වී සභාවල බලය පිහිටුවීමට බාධාවක් නැත.
ඒ අනුව කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන දෙසීයකට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම ජාතික ජනබලවේගයට අභියෝගයක් වී තිබේ. ජවිපෙ නායකයන් ප්‍රධාන පක්ෂ සමග එකතු වී බලය ලබා නොගන්නා බවත් ස්වාධීන කණ්ඩායම් සමග එක්ව ආණ්ඩු බලය පිහිටුවන බව කී ආයතනවලට පවා ස්වාධීන කණ්ඩායම් වලින් තරග කළේ ප්‍රධාන පක්ෂ වලින්ම ගැලවුණු පුද්ගලයන් මිස අලුතෙන්ම දේශපාලනයට ආ අය නොවේ. මෙම ඇතැමුන් ප්‍රධාන පක්ෂවල සිටිය දී විවිධ මූල්‍ය හා අයථා චෝදනාවලට ලක්වූවන්ය. ඒ අරුතින් ගත් විට ජවිපෙ තවත් ප්‍රතිපත්තියක් මෙහිදී බිඳවැටෙන බව පෙනී යයි.
සජබ එජාප සහ පොහොට්ටුව ඉදිරියට
මෙම මැතිවරණයේ දී විපක්ෂයේ සියලු පක්ෂ තම ඡන්ද ප්‍රතිශත වැඩිකරගෙන තිබේ. සජබය, එජාපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග නොකළ ද වෙන් වෙන්ව තරග කර සභාවල බලය පිහිටුවීමේ දී එකතු වීමේ අදහසක් මැතිවරණ ව්‍යාපාරය මැද දී ඇතැම් පක්ෂ නායකයන් මතුකර තිබිණි. ඒ කී ආකාරයටම මේ වන විට කොළඹ නගර සභාව ඇතුළු දෙසීය ඉක්මවන ආයතන සංඛ්‍යාවක් සඳහා විපක්ෂය එකතු වීමේ සාකච්ඡා ආරම්භ කර ඇත. නැගෙනහිර පළාතේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග නොවැදුණේ නම් සජබය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය මෙයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීමට ද ආයතන ප්‍රමානය යම් තරමකින් වැඩිවීමට ද ඉඩ තිබිණි. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ජාතික ජනබලවේගය කරා ගිය ඡන්ද යම් තරමකින් මේ වන විට සමගි ජන බලවේගය වෙත පැමිණ ඇති ආකාරය ද දැක ගත හැකිය.
සජබය විශාල ප්‍රමාණයේ මහජන රැස්වීම් මෙවර පැවැත් වූයේ නැත. පක්ෂයේ නායකයන්ගේ මතය වූයේ ඉතා වෙහෙසකර එවැනි රැස්වීම් මෙවැනි මැතිවරණයක දී ඵලදායක නොවන බවය. ඒ නිසා සජබ නායකයා මැතිවරණ කොට්ඨාස සීයක් ඇවිද්දේය. මෙම කොට්ඨාස සියයේ ආසන සංවිධායකවරයා ද ඉදිරිපත් වන අපේක්ෂකයන් ද එකතුවන ජනහමු කොට්ඨාස මට්ටමින් පැවැත්වීම සජබයේ උපක්‍රමය විය. සජබය තම අපේක්ෂකයන්ට ඉතා පැහැදිලිවම දැනුම් දී තිබුණේ මැතිවරණ දිනයට පෙර ඒ ඒ අපේක්ෂකයන් සෑම නිවසකටම තුන්වතාවක් වත් ගොස් තිබිය යුතු බවය.
එහෙත් ඒ උපදෙස් අනුව කරුණු කාරණා සිදුවූයේ නැත. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල තම ගමේ තෝරාගත් නිවෙස් වෙත පමණක් ගිය අපේක්ෂකයන් ද සිටි බව පක්ෂ මූලස්ථානය නොදන්නවා වන්නට පුළුවන. කෙසේ වෙතත් ප්‍රධාන මහජන රැලි පැවැත්වූයේ නම් ලැබුණු ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් එම පක්ෂයට ලබාගත හැකිවන්නට ඉඩ තිබිණි.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සජබය ලබාගෙන ඇති මෙම වර්ධනය ජයග්‍රහණය කළ ආයතනවල පාලනය පවත්වාව ගෙන යාමේ දී තව තවත් ජනතාව ඒකරාශී කර ගැනීමට ආධාරකයක් කර ගැනීම ඉදිරි අභියෝගයකි.
ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කර ගනිමින් සිටින පක්ෂය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. නාමල් රාජපක්ෂ වටා ඇති වෙමින් පවතින දේශපාලන එක්රොක් වීමක ලක්ෂණ ඉකුත් මාස කිහිපය පුරාම දැකගත හැකි විය. මෙම පළාත් පාලන මැතිවරණයේ දී ද පෙන්නුම් කර ඇත්තේ එයයි. මෙම මැයි දින සමරුවේ දී නාමල් සහ පොදුජන පෙරමුණ වටා ඒකරාශී වූ තරුණ පිරිසක් දැකගත හැකි වූ අතර එය අනාගත දේශපාලන බලාපොරොත්තුවක් පිළිබඳ පෙර නිමිති ගෙන එයි.
ඡන්ද ක්‍රමයේ විකෘතිය
යම් සභාවක් තුළ වැඩි ඡන්ද ප්‍රමාණය ලබා ගත්ත ද සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී ප්‍රමාණය ලැබී නොමැති පළාත් පාලන ආයතන ගණනාවක් දැකගත හැකිය. මෙහි වරද ඇත්තේ දේශපාලන පක්ෂයේ නොව 2018 සංශෝධනය කරන ලද පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙහිය. ජයග්‍රහණය කළ පක්ෂයට ලැබී ඇති ආසන ප්‍රමාණය ඉක්මවා යන මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් එම සභාවල දී විපක්ෂ කණ්ඩායම්වලට ලැබී තිබේ. මෙම විකෘතිය 2018 ට පෙර පැවැති පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙහි තිබුණේ නැත. එම මැතිවරණ ක්‍රමය අනුව යම් සභාවක් වැඩිම ඡන්ද ගත් පක්ෂයට ආසන බෙදීමේ දී බෝනස් ආසනයක් හිමිවෙයි. ඒ අනුව ඡන්ද ගණනයේ දී වැඩි ඡන්ද ප්‍රමාණය ලබාගත් පක්ෂයට ආරවුලකින් තොරව සභාවේ පාලන බලය පවත්වාගෙන යා හැකිය. එහෙත් මේ වන විට එවැනි බෝනස් ආසනයක් නොමැති අතර වැඩි ඡන්ද ගත් පක්ෂයට බහුතර බලය හිමි නොවුණු අවස්ථාවල එක්කෝ විපක්ෂය මත යැපීමට සිදුවෙයි. නැතිනම් විපක්ෂයට බලය ලබා දීමට සිදුවෙයි.
උදාහරණ ලෙස ගතහොත් මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් ආයතන නවයෙන් සෘජුවම සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබලවේගයට හැකියාව ඇත්තේ ආයතන තුනක පමණකි. ඉතිරි ආයතන හයේදීම ජාතික ජනබලවේගයට වඩා විපක්ෂයේ අන් සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ඉහළය. මේ අනුව එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ දී මෙම ආයතනවල නිරන්තර හැල හැප්පීම් දැකිය හැකිවනු ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ද පවතින්නේ එවැනි තත්ත්වයකි. එම දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන දොළහෙන් හතක පමණක් ජාතික ජනබලවේගයට සෘජුව සභාවේ බලය පිහිටුවීමට ඉඩ ලැබුණ ද ආයතන පහක ඔවුන් ඉදිරියෙන් සිටියත් සමස්ත විපක්ෂය එකතු වූ විට විපක්ෂයට බලය ලබාගත හැකිය. මේ නිසා එම දිස්ත්‍රික්කයේ ද සභා පිහිටුවීමේ දී සහ ඉන් පසු කාලවල නිරන්තර අර්බුද ඇතිවන ආකාරය දැකගත හැකිවනු ඇත.
මෙම තත්ත්වය වෙනස්කර නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණකි. එහිදී පෙර පැවැති ආකාරයටම සභාවක දී වැඩියෙන්ම ඡන්ද ගත් පක්ෂයට ලැබුණු බෝනස් මන්ත්‍රී ආසනය ද ඇතුළත් කිරීම අවශ්‍යය. ඒ සඳහා රජය ක්‍රියාකාරී මැදිහත්වීමක් කරනු ඇතැයි අපේක්ෂා කරමු.
ප්‍රේමකීර්ති රණතුංග