සෙව්වන්දි කොටුකළ කත්මණ්ඩු මෙහෙයුම


2025 පෙබරවාරි 19 දා උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පස්වන ශාලාවේ දී සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කෙරැණි. නීතිඥ වෙස් ගෙන පැමිණි වෙඩික්කරුවූ  කොමාන්ඩෝ සමිඳු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගැනිණි. එහෙත් අති සූක්ෂ්ම ලෙස සඟවාගෙන  ගිනි අවිය උසාවි පරිශ්‍රයේ දී ඔහුට ලබා දී ඇතැයි කියූ නීතිඥ වෙස්ගත් ඉෂාරා සෙව්වන්දි දිගු කළක් පොලිස් රැහැනට හසු නොවී සැඟව සිටියාය.

සෙව්වන්දි ඉන්න තැන ඔත්තුවක් 

අගෝස්තු මාසයේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙව්වන්දි පිළිබඳව ද පොලිසිය ප්‍රශ්න කළ අතර, එහි දී ඇය සිටින්නේ නේපාලයේ බැව් අනාවරණය වුණි. එහෙත් ඒ බව පොලිසිය මාධ්‍යයට කිව්වේ නැත. ප්‍රචාරය ගියේ සෙව්වන්දි ඩුබායි හි සිටින බවට පද්මේ පැවසූ බවය.කෙසේ වෙතත් ඉන් අනතුරුව සෙව්වන්දි  ගැන විමර්ශනයක් ආරම්භ කළේය. එහිදී අනාවරණය වුණේ සෙව්වන්දි යාපනය ප්‍රදේශයේ මිනිස් ජාවාරම්කරුවකු වන ජේ.කේ. බායි සමග පැනගොස් ඇති බවය. වහාම ක්‍රියාත්මක වුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ජේ.කේ. බායි  සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. එහිදී ඔහු නේපාලයේ භක්තිපුර් ප්‍රදේශයේ සැඟව සිටින බවට අනාවරණය විය.ඒ නිසාම පොලිසිය සහතික ලෙසම අනාවරණය කරගත්තේ නියත වශයෙන්ම සෙව්වන්දි ඔහුත් සමග ඇති බවය. ඒ අනුව මෙහෙයුම සුදානම් කළේය.

නේපාල මෙහෙයුම 

පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජාත්‍යන්තර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම අදාළ මෙහෙයුම සුදානම් කළහ. එම මෙහෙයුම සඳහා දෙදෙනකු සම්බන්ධ කරගැනිණි.එක් අයකු වුයේ පද්මේ ඇතුළු කණ්ඩායම ගෙන ඒමේ මෙහෙයුම භාරව සිටි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල ය.අනෙක් නිළධාරියා වුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ය. 

ඒ අනුව පසුගිය 10 වනදා ඕලු‍ගල ත් ගිහානුත් නේපාලය බලා පිටත් වූහ. එම ගමන යාමේ දී ඕලු‍ගල අසනීප බව හඟවමින්, සිය ජංගම දුරකථන දෙක මෙරට තබා යන්නට අමතක කළේ නැත. ඊට හේතු වූයේ පද්මේ ලා අත් අඩංගුවට ගැනීමට යාම ගැන පොලීසියෙන්ම පද්මෙලාට ඔත්තුව ගොස් තිබීමේ අතීත අත්දැකීමය . ඔවුහු 10 වැනිදාට පෙර යාමට නියමිතව සිටිය ද, ගුවන් ටිකට් පත් නොමැතිවීම නිසා එය10  දින තෙක් කල් දැමූහ.

ජේ. කේ. බායි අල්ලයි... 

10දා කත්මණ්ඩු නුවරට ගිය ඕලු‍ගල ට සහ ගිහාන් ට අවශ්‍ය පහසුකම් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සපයා තිබිණි. අනතුරුව ඔවුන් එරට ජාත්‍යන්තර පොලිසිය හා එරට පොලිසිය සමග ඒකාබද්ධ මෙහෙයුම ආරම්භ කළහ. එහිදී ඔවුන් ගේ පළමු පියවර වුයේ ජේ. කේ. බායි අත් අඩංගුවටගැනීමය. ඒ අනුව දුරකථන ජාලා පරීක්ෂාවකින් ඔහු සිටිනා ස්ථානය සොයා ගැනුණි. අනතුරුව ඕලු‍ගල සහ ගිහාන්  එරට පොලිසිය සමග ගොස් ජේ.කේ. අත් අඩංගුවට ගත්හ. ශ්‍රී ලංකා පොලිසියට මෙහෙයුම් සැලසුම් ක්‍රියාත්මක කළ හැකි වුවත්, වෙනත් රටකදී සිදුකෙරෙන අත් අඩංගුවට ගැනීම් සඳහා අනිවාර්යයෙන්ම අදාල රටේ පොලිසියේ සහය ගත යුතුව ඇත. ඒ අදාල රටේ ස්වෛරීත්වය නිසාය.

ජේ. කේ. බායි අත් අඩංගුවට ගෙන පිරිස ප්‍රශ්න කරන්නට වූහ. එහෙත් සෙව්වන්දි කෙනෙකු ගැන තමා නොදන්නා බව හෙතෙම කීවේය. එය ඇත්තකි. 

සෙව්වන්දි කෙනෙකු නේපාලයේ සිටියේ නැත. ඒ ඇය වෙනත් නමකින් පෙනී සිටි නිසාය. කෙසේ වෙතත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ට පොලිස් නිලධාරියක් වීඩියෝ මගින් ජේ. කේ. ව ඇමතුවේය. ඇත්ත නොකිව්වොත් පවුල් වලට පවා කරදර වෙන බව දැන්වීය. ඊට බිය වු ජේ.කේ. ඇත්ත කියන්න ගත්තේය. එනම් සෙව්වන්දි නේපාලයේ භක්තපුර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බව කීවේය.

සෙව්වන්දි හෙවත් තමලනී 

අත් අඩංගුවට ගත් ජේ. කේ. බායි සියල්ල වැමෑරුවේය. ඇයත් සමග ඔහු බෝට්ටු මාර්ගයෙන් යාපනයේ සිට ඉන්දියාවට පැමිණි බවත්, සති තුනක් එහි රැඳී සිටි බවත්, එහි දී සෙව්වන්දි සඳහා ඉන්දියානු හැඳුනුම්පතක් ‘තමලනී‘ නමින් සැදූ බවත්, කීවේය. එසේ සැකසීමෙන් පසුව දෙදෙනාම දින හතක ගමනකින් දේශසීමා පසු කොට නේපාලයට පැමිණ    භක්තපුර් ප්‍රදේශයේ ලැඟුම් ගත් බව ද කීවේය. ඔවුන් එක් නිවසක් සඳහා එරට මුදලින් 6000ක් වැය කළ බවත්, මේ සියල්ල සඳහා රුපියල් ලක්ෂ 65ක මුදලක් කෙහෙල්බද්දර පද්මේ තමන්ට ලබාදුන් බවත්, ඔහු තවදුරටත් කීවේය.

ජේ.කේ. ගේ හෙළිදරව් කිරීම් අනුව ඕලු‍ගල, ගිහාන් ඇතුළු එරට පොලිස් කණ්ඩායම සෙව්වන්දි හෙවත් තමලනී අල්ලාගැනීමේ මෙහෙයුම දියත් කළහ.කෙසේ නමුත් ඒ වනවිට ඕලු‍ගල ලා රැඳී සිටි හෝටලය සෙව්වන්දි ගේ නිවස ආසන්නයේම පිහිටා තිබුණේය. 12 දා ජේ.කේ. අත් අඩංගුවට පත්වූ අතර, සෙව්වන්දි අත් අඩංගුවට ගැනීම 13 දා උදෑසන සිදුවිය. 

නේපාල ආරක්ෂක අංශ ප්‍රථමයෙන් සෙව්වන්දි ඉන්නා තැනට යවා ඇයව අත් අඩංගුවට ගැනීමෙන් පසු , ඕලු‍ගලත් ගිහානුත් එම තැනට කඩා පැන්නහ. මෙම මෙහෙයුම එරට ආරක්ෂක අංශ විසින් ඇද ඇද සිටි නමුත් 13දා එම මෙහෙයුම සිදුකළේ අප නිලධාරීන් දෙදෙනා ගේ බලපෑම නිසාය. අත් අඩංගුවට ගත් ඇය පරීක්ෂා කරන විට ඇය සන්තකයේ තමලනී නමින් වූ හැඳුනුම්පත තිබුණේය. නිවසේ හිමිකරු පැවසුවේ ඔවුන් බැංගලෝරයේ සිට පැමිණ මෙම ස්ථානය කුලියට ගත් බවය. 

ඕලු‍ගල දුටු සැණින් සිනාවකින් මුව සරසාගත් සෙව්වන්දි එකවර කීවේ, “මම දැනන් හිටියා කොයි වෙලේ හරි සර් මාව හොයා ගෙන එන බව”‍ කියාය. ඊට හේතුව පද්මේ ලා අත් අඩංගුවටගැනීමත් සමග නිසැකවම වැඩේ ලීක් වන බව ඇය දන්නා නිසාය. ඇයගේ අඩුම කුඩුම ගත් පොලීසිය ඇයව රැගෙන එරට පොලිස් ස්ථානය වෙත යන්නට සූදානම් වුයේය. එහෙත් මෙහිදී තව තොරතුරක් ආවේය.ඒ තවත් සිව් දෙනෙක් මොවුන් සමග සිටිනා බවයි.

බබා සහ බබී 

සෙව්වන්දි සහ ජේ. කේ. ගේ අනාවරණය සමග තවත් සිව් දෙනෙකුගේ නම් එළියට ආවේය. ඒ ගම්පහ බබා නිශාන්ත, නුගේගොඩ බබී, ජැෆ්නා සුරේෂ සහ තවත් කාන්තාවකි. මොවුන් සියලු‍ දෙනාම එකට සිට ඇති අතර, එහෙත් අගොස්තු මාසයේ පද්මේ අත්අඩංගුවට පත්වීමත් සමග විසිරී ගොස් ඇත. ඉන් අනතුරුව ඔවුහු දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියහ.

“සර්...මට එපාවෙලා හිටියේ මෙහේ ඉන්න. ඇත්තටම මෙහේ හිටියේ ලංකාවෙ පොලිසියෙන් අල්ලන නිසා මිසක් කිසිම කැමැත්තකින් නෙමේ.”‍ ඇය කීවාය.

බබා නිශාන්ත සහ නුගේගොඩ බබී මන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට පැමිණ ඒ හරහා නේපාලයට පැමිණ තිබුණි. එලෙස ගෙන් වූයේ කෙහෙල්බද්ද පද්මේ විසිනි. ඒ අනුව ස්ථාන හතරක සිටි ඔවුන් හතර දෙනා ද මෙම මෙහෙයුමේ අවසන් කාර්තුවේ දී අත් අඩංගුවට ගත්හ. ඔවුන් අත් අඩංගුවට ගැනීමත් සමග රැඳී සිටි අනෙක් කාන්තාව ගේ සම්මාදම කුමක් ද යන්න හෙළිවිය.

ඩුබ්ලිකේට් සෙව්වන්දි 

ඇය චාවකච්චේරියේ තක්ෂි විය. තක්ෂි ද සෙව්වන්දි ගේ රුවට සමානය. ඇය ගුවන් මගින් නේපාලයට පැමිණ ඇති අතර, ඇය සන්තකයේ විදෙස් ගමන් බලපත්‍රය තිබුණේය. එම ගමන් බලපත්‍රයේ ඩුබායි වීසා ද වැදී තිබුණි. පද්මෙලා තක්ෂිව යොදා ගත්තේ ඇයගේ රූපය හා සමානව සෙව්වන්දි සකස් කර එම වීසා සහ ගුවන් බලපත්‍රයෙන් ඩුබායි වලට පන්නා ගැනීමටය. එසේ පන්නා ගෙන පසුව ඇයව යුරෝපයට ගෙන්වා ගැනීමටය. 

එහෙත් වැඩේ වැරදී ගියේ පද්මේ කොටුවීම නිසාය. තක්ෂි ඩුබායි වීසා ගසා ගෙන විත් තිබ්බේ සෙව්වන්දි වෙනුවෙන් බව අනාවරණය විය.

අත් අඩංගුවට ගත් බබා නිශාන්ත ගම්පහ ඔස්මන් ඝාතන තැතට පැමිණි වෙඩික්කරුවෙකි. ඔහු එකවරක් පොලීසියට කොටුවිය. පසුව ඩුබායි වලට පැන ගිය අතර, ඔහු ජුලි මාසයේ දී ඩුබායිවලින් පිටුවහල් කර තිබිණි.එසේම නුගේගොඩ බබී නුගේගොඩ මනුෂ්‍ය ඝාතනයක් සඳහා සම්බන්ධ අයෙකි.මේ දෙදෙනාම පැනවිත් තිබුණේ පද්මේ ගේ උදව් ඇතිවය.

අලු‍ත්කඩෙන් නේපාල් ආ ගමන 

අත්අඩංගුවට ගත් සෙව්වන්දි තමන් ආ ගමන ගැන කීවාය.ඇය පැවසුවේ තමන් ගිනි අවිය ලබා දීමෙන් පසුව එතැනින් පැමිණි බවත්, ඇයව සොයන විට පද්මේ ගේ උපදෙස් මත මතුගම ශාන් ගේ සහායෙන් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටි බවත්ය. මාස එකාමාරක කාලයක් මතුගම සිටිමින් තම රූපය වෙනස් කරමින් කොණ්ඩය කපා දැමූ බවද, ඉන් පසුව නැවතත් කෙහෙල්බද්දර පද්මේ ගේ සහයෙන් මිද්දෙණිය ප්‍රදේශයට පලාගොස් සැඟවී සිටි බව ද, ඈ කීවාය. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ මිද්දෙණියේ ගොස් සැඟවී සිටියේ සුපුන් නැමැති අයගේ සමීපයේ බවයි. සුපුන් යනු බැකෝ සමන් ගේ පාසල් මිත්‍රයාය.ඔහු පහත් බිම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවේ පියන් කෙනෙකි. සුපුන් මීට පෙර පොලිසියට කොටු වන්නේ හරක්කටා ඝාතනය සඳහා ගිනි අවිය අමුණා කැමරාවක් සකස් කිරීමේ සිද්ධිය සඳහාය.

ඉන් පසුව සුපුන් විසින් ඇයව යාපනයේ ජේ. කේ. බායි වෙත රැගෙන යන්න ඇත්තේ බැකෝ සමන් ගේ සහයෙන් බව විමර්ශන වලදී සැක කරයි. කෙසේ වෙතත් සෙව්වන්දි පවසන්නේ යාපනයට ගොස් දවස් තුනක් රැඳී සිට ජේ.කේ. බායි සමග පැය හයක මුහුදු ගමනක් ඔස්සේ ඉන්දියාවට පැමිණි බවය.මේ සියලු‍ දේවල් සඳහා ඇයට පද්මේ මුදල් වියදම් කළ බව ඇය කිවේය. සංජීව ඝාතනය සඳහා ඇයට කීයක් ලැබුණේ ද යන්න ඇය ගෙන් විමසූ විට ඇය සඳහන් කර ඇත්තේ තමන් ඒ සඳහා සහාය වුයේ පද්මේ ගේ සමීප හිතවත්කමට මිස මුදල් හෝ වෙනත් ලාබ අපේක්ෂාවකින් නොවන බවයි.

19 සංජීව ඝාතනය කරයි 

18 සෙව්වන්දි මිද්දෙණියේ...

මේ අතර පොලිසියට තවත් තොරතුරක් අනාවරණය විය. එනම් 19 දා සංජීව ඝාතනය වන දිනට පෙර 18 දා සෙව්වන්දිත් කොමාන්ඩෝ සමින්දත් ඉඳ ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ බවයි. එනම් ඔවුන් දෙදෙනාට කෙහෙල්බද්දර පද්මේ විසින් වැඩක් ඇති බවට පවසා මිද්දෙණියට යන ලෙසට දන්වා ඇතැයි සඳහන් වේ.කෙසේ වෙතත් එදින එකවර ඇමතුමක් ලබා දුන් පද්මේ ඒ වැඩේ නොකෙරෙන බවත්, වහාම කොළඹට යන ලෙසත්, දන්වා ඇත. ඒ සංජීව ඝාතනය සඳහා ය.

කෙසේ වෙතත් පොලීසිය සැකකරන්නේ 18 දා ඔවුන් මිද්දෙණියට යැව්වේ කජ්ජා ඝාතනයට ද යන සැකයක් ඇති බව‍යි. එහෙත් ඒ වැඩේ වෙනත් අයකුට පවරා මොවුන් දෙදෙනා ගෙන්වා ගන්නට ඇති බව පොලිසිය සැකකරයි.

නඩුවක් වෙනුවෙන් 5000ක්...

සෙව්වන්දි පවසා ඇත්තේ තමන් සංජීව ඝාතනයට අධිකරණයට ආ අවස්ථාවේ එක්තරා කාන්තාවක් පැමිණ නඩුවක් බාර දෙන්න සූදානම් වූ බවය. ඒ ඇය නීතිඥවරියක් ලෙස රැවටී ය. එහෙත් අවසානයේ ඇය එම නඩුව වෙනත් නීතිඥවරියක් වෙත පවරා දී ඇත්තේ “තමන් වෙන නඩුවක් වෙනුවෙන් ආ බව”‍ පවසාය. පසුව හඳුන්වා දුන් නීතිඥවරිය ඒ සඳහා රුපියල් 5000ක් ඉල්ලා ඇත. එහෙත් ඒ කාන්තාව සන්තකයේ තිබී ඇත්තේ රුපියල් 1000ක් පමණි. පසුව තමන් සන්තකයේ තිබු රුපියල් 5000ක් එම කාන්තාවට ලබාදුන් බව ඇය ප්‍රකාශ කර ඇත. එහෙත් අප එහි ඇත්ත නැත්ත දන්නේ නැත.

කෙසේ වෙතත් කැකිරි පල පල ලංකාවට ආ සෙව්වන්දි අවසානයේ මාධ්‍යයට වෙනම ප්‍රතිරූපයක් තුළින් පෙන් වූයේ - මේවා මහ කිරිකජු වැඩ බවත්, මේවා අපට දැනෙන්නේ නැති බවත්, ය.එය රටටම පෙන්නුවේය. එහෙත් අපරාධ විද්‍යාව සහ මනෝ විද්‍යාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ඕනම අයකු දන්නා කරුණක් ඇත. අපරාධකරුවන් සිනා වෙන්නේ ඒ වෙන කිසිවක් නිසා නොව දැඩි ආතතිය නිසාය. අඬන්න බැරි අපරාධකරුවන් සිනාසෙන්නේ ඒ නිසාය. ඒ නිසා එය වීරත්වයේ සතුටක් නොව කඩා වැටීමේ සලකුණකි.

මේ වනවිට සෙව්වන්දිත්, ජේ.කේ.ත්, ජැෆ්නා සුරේෂුත්, තක්ෂි ත් සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාශයේය. නුගේගොඩ බබී සිටින්නේ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේය. බබා නිශාන්ත ඉන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේය. ඒ නිසා ඉදිරියේ තව තවත් අලු‍ත් කතන්දර එනු ඇත. ඒ සියල්ල ඉදිරියේ දී අප ඔබට මෙලෙසම දිග හරින්නෙමු.

ගයාන් ගාල්ලගේ