සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත: පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද?


ආණ්ඩුව විසින් ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව මතු වූ සාකච්ඡාව තරම්ම ප්‍රබල වූත් ප්‍රශ්නසහගත වූත් සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. 

පසුගිය 21 වැනි දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් මේ පනත් කෙටුම්පත සම්බන්ධ සිය නිරීක්ෂණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යොමු කරනු ලැබ තිබූ අතර, ඊට අදාළව එම කොමිසම විසින් නිකුත් කරනු ලැබ තිබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා වන නීති ගෙන ඒමේ වැදගත්කම කොමිසම පිළිගත්ත ද ඉදිරිපත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට හා අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතිවලට අනුකූල නොවන බව ය.

මෙපරිදි ප්‍රශ්නසහගත වී ඇති මේ පනත් කෙටුම්පතේ විවාදාසම්පන්න ප්‍රතිපාදන රැසක් අන්තර්ගත වන අතර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අය හඳුනාගැනීමට අදාළ ප්‍රතිපාදන, රඳවා තබාගැනීම්වලට අදාළ නීතිමය තත්ත්ව වෙනස් කිරීම, සැකකරුවන්ගේ පාපොච්චාරණ ආදිය ප්‍රධාන වේ. මේ සියලු කාරණා ඇතුළත් ව එම පනත් කෙටුම්පත්  අන්තර්ගතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියක් මෙසේ ය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අදාළ පළමු වර කියවීම පසුගියදා සිදු කෙරිණි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන අර්ථනිරූපණය මත එය කෙසේ සම්මත විය යුතු ද යන්න අනාගතයේදී තීරණය වනු ඇත. මේ වනවිට මේ පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රබල සංවාදයක් මතුව ඇති බවක් දැකිය හැකි ය. එහිදී සලකා බැලිය යුතු මූලික කාරණා කිහිපයක් තිබේ. පළමුවැන්න, මෙම අවස්ථාවේ මේ ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙන ඒමේ වැදගත්කම කුමක් ද යන්න ය. එහි අරමුණ වශයෙන් පූර්විකාවේ දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ අන්තර්ජාතික සම්මුතියෙහි පාර්ශ්වකරුවකු බවට ශ්‍රි ලංකාව පත්ව ඇති බැවින් එහි ඇතුළත් ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා පනතක් සම්මත කළ යුතු බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන බව ය. එනම්, අදාළ ජාත්‍යන්තර සම්මුතියෙහි පාර්ශ්වකරුවකු වීම මගින් ශ්‍රී ලංකාව සඳහා වන බැඳියාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය ගෙන එන ලද බව ය.

සංවිධානාත්මක අපරාධවලින් පුරවැසියන් ආරක්ෂා කිරීම මෙවැන්නක් ගෙන ඒමේ තවත් අරමුණක් බව රජය පවසයි. එහෙත් අන්තර්ජාතික සම්මුතීන් දේශීය වශයෙන් බලාත්මක කරගැනීමේදී පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ උද්ගත වූ ඇතැම් සංසිද්ධි එතරම් යහපත් නැති බව පැහැදිලි ය. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෙරටේ බලාත්මක කිරීම පිණිස පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද අයි.සී.සී.පී.ආර්. පනත ක්‍රියාත්මක වූයේ සීමිත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පමණි. වෙසෙසින් ම විවිධ ආගම්වලට විරුද්ධ ව මත පළ කළ පිරිස්වලට දඬුවම් කිරීමේ අරමුණින් එම පනත පසුගිය ආණ්ඩු භාවිත කළ බව දැකිය හැකි විය. එහෙත් අයි.සී.සී.පී.ආර්. පනත ගෙන ඒමේ ප්‍රධාන අරමුණ වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් දේශීය වශයෙන් ආරක්ෂා කිරීමට නෛතික රාමුවක් සැපයීම ය. මේ සන්දර්භයේ ප්‍රස්තුත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ද පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට භාවිත කිරීමේ අවදානමක් ඇත් ද යන සැකය මතු වේ.

පී.ටී.ඒ. පනතේ ඇතුළත් මර්දනීය ප්‍රතිපාදන ඉදිරියට ගෙනයෑමක් මෙයින් සිදුවන්නේ ද?

මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කිරීමේදී ඒ ගැන සංවාදයක් රටේ තිබේ නම් එය ඉතා වැදගත් ය. අදාළ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැති පිරිස වගේම එයින් බලපෑමට ලක්විය හැකි සාමාන්‍ය පුරවැසියන් ද එම සංවාදයෙහි පාර්ශ්වකරුවන් විය යුතු ය. මේ දෙපාර්ශ්වයේම අදහස් සලකමින් වඩාත් තුලනාත්මක නීතියක් සකස් කරන්නේ නම් වඩාත් හොඳ ය. එහෙත් කඩිමුඩියේ මේ ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙන ඒමත් මීට සමගාමීව ඉදිරිපත් කරනු ලැබ ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතෙහි PTA ඇතුළත් මර්දනීය ප්‍රතිපාදන තවදුරටත් වර්ධනය කිරීමට මෙයින් උත්සාහ කරන්නේ ද යන සැකය මතු වේ.

සංවිධානාත්මක අපරාධ මැඬලීමට අදාළ අන්තර්ජාතික සම්මුතියේ අරමුණු මේ පනත් කෙටුම්පතෙන් ඉටු වේද?

ප්‍රස්තුත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගතය විමසීමේදී පළමුව කුමනාකාරයේ වැරදි සඳහා දඬුවම් පැමිණවීමට මෙයින් උත්සාහ කර ඇත්ද යන්න සැලකිල්ලට ගත හැකි ය. සංවිධානාත්මක අපරාධ මැඬලීමට අදාළ අන්තර්ජාතික සම්මුතියට අනුව සංවිධානාත්මකව කරනු ලබන බරපතළ අපරාධ රාජ්‍යයන් කිහිපයක් අතර සිදුවන්නේ නම් එක් රාජ්‍යයක පමණක් එම නීති පැනවීම ප්‍රමාණවත් නොවේ. එමෙන් ම ඒවා මර්දනය සඳහා රාජ්‍යයන් අතර සහයෝගීතාවක් තිබිය යුතු අතර ඒ අරබයා මේ ආකාරයේ අන්තර්ජාතික සම්මුති වැදගත් ය. එහෙත් මෙම පනත් කෙටුම්පතෙන් එම කාරණයට කොතෙක්දුරට ආමන්ත්‍රණය කර ඇත්ද යන්න ගැන පුළුල් සංවාදයක් ගොඩනැගී නොමැත. වසර 4 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් දඬුවම් ලැබිය හැකි මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කරනු ලබන වරදවල් බරපතළ වරදවල් හැටියට සංවිධානාත්මක අපරාධ මැඬලීමට අදාළ අන්තර්ජාතික සම්මුතියෙහි දැක්වේ. එහෙත් ඉදිරිපත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතෙහි පළමු වැනි උපලේඛනයෙහි බරපතළ අපරාධ අර්ථ දක්වා ඇති අතර එහි අඩංගු ඇතැම් කාරණා සංවිධානාත්මක අපරාධ වශයෙන් සැලකිය හැකි ද යන ප්‍රශ්නය මතු වේ.

බුද්ධිමය දේපොළ නීතිය යටතේ ඇති වැරදිවලට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතෙන් වැඩි දඬුවම්

දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති ඇතැම් වැරදි සහ නොයෙක් පනත් මගින් හඳුන්වා දෙනු ලැබ ඇති වැරදි ද මේ පනත් කෙටුම්පත යටතේ සංවිධානාත්මක අපරාධ ලෙස හඳුන්වා තිබේ. උදාහරණයක් ලෙස පරිගණක අපරාධ පනතේ දක්වා ඇති සමහර වැරදිත් බුද්ධිමය දේපොළ පනත යටතට ගැනෙන ඇතැම් වැරදිත් සංවිධානාත්මක අපරාධ හැටියට මෙම පනත් කෙටුම්පතෙන් දක්වා තිබේ. මෙහි ගැටලුසහගත තත්ත්වයක් තිබේ. ප්‍රකාශන අයිතිවාසිකම්, වෙළෙඳ ලකුණ සම්බන්ධ අයිතිවාසිකම් සහ පේටන්ට් බලපත්‍ර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ විධිවිධානත් මෙහි ඇතුළත් වේ. විශේෂයෙන් ම වර්තමානයේදී ප්‍රබල ලෙස සාකච්ඡාවට බඳුන් වන ප්‍රකාශන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැනත් මෙම පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන දැක්වෙන අතර ඒ අනුව, යම් නිර්මාණයක හිමිකරුගේ කැමැත්ත හා අනුමැතිය ලබාගැනීමකින් තොරව එම නිර්මාණ වෙනත් අයකු විසින් පරිහරණය කරනු ලබන අවස්ථාවකදී -ගීතයක් නම් එහි හිමිකරුගේ අනුමතයකින් තොරව වෙනත් අයකු විසින් එම ගීතය ගායනා කරනු ලබන අවස්ථාවකදී- එවැන්නන්ට එරෙහිව සිවිල් නීතිමය වරදක් පවරා වන්දි ලබා ගත හැකි ය. ඊට අමතරව සීමිත අවස්ථාවලදී බුද්ධිමය දේපොළ පනත මගින් සාපරාධී වගකීම පවරනු ලැබේ. කෙනකුට අයත් බුද්ධිමය දේපොළක් තවත් පුද්ගලයකු අනවසරයෙන් නැවත පළකිරීමක් හෝ මුද්‍රණය කිරීමක් කර ඇති අවස්ථාවක එය කළ පුද්ගලයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ බුද්ධිමය දේපොළ පනත යටතේ නඩුකරයක් පවරනු ලැබිය හැකි අතර ඒ සඳහා ලබාදිය හැකි උපරිම දඬුවම මාස හයක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 5 ක් දක්වා වන වන්දියක් අය කරගැනීම ය.

බුද්ධිමය දේපොළ නීතිය යටතේ දැක්වෙන එම වරදම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි ද දක්වා තිබේ. ඒ අනුව‌, සංවිධානාත්මක අපරාධ කල්ලියක් වශයෙන් හඳුන්වනු ලබන කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන වරදකදී ඒ වෙනුවෙන් වසර 5 කට නොඅඩු සහ වසර 20 කට නොවැඩි කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට යටත් කළ හැකි බව ද මේ පනත් කෙටුම්පතේ දැක්වේ. මෙය බරපතළ තත්ත්වයකි. නිර්මාණ හිමිකරුගේ අවසරයකින් තොරව යම් සංගීත කණ්ඩායමක් විසින් ඔහුගේ හෝ ඇයගේ හෝ ගීත ගායනා කරනු ලබමින් සිටින්නේ නම් ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් හැටියට නම් කර මේ ආකාරයේ දණ්ඩනවලට යටත් කිරීමේ හැකියාවක් මේ පනත් කෙටුම්පතෙන් උදා නොවන්නේ දැයි පුරවැසියන් අතර සැකසාංකා ඇති වීමට පිළිවන. ඒ අර්ථයෙන් බලන විට සංවිධානාත්මක අපරාධ වශයෙන් හඳුන්වනු ලබන්නේ කවර වැරදිද යන්න සම්බන්ධයෙන් පනත් කෙටුම්පතෙන් සපයා ඇති ඇතැම් අර්ථ නිරූපණ ප්‍රශ්නසහගත ය. 

සංවිධානාත්මක අපරාධ කල්ලි සමග ඇයි හොදැයිකම් පවත්වන පුද්ගලයන් සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස අර්ථනිරූපණය කිරීම

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස ගිණිය හැක්කේ කවර අන්දමේ පුද්ගලයන් ද සහ ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන කාරණය මහජනයා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තියේ දැක්වෙන අතර යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වශයෙන් හඳුනාගනු ලබන්නේ කවර අවස්ථාවලදී ද යන්න එහි විස්තර කොට තිබේ. ඒ අනුව, හඳුනාගැනීම මූලික අවස්ථාවේදී කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් විසිනි. එහෙත් මේ පනත් කෙටුම්පතෙන් ඒ සඳහා උපදෙස් ලබා දී තිබෙන්නේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නොවන අතර යමකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු ද යන්න අධිකරණය විසින් සලකා බලනු ලැබිය යුතු කරුණු හැටියට මෙහි දක්වා ඇත. දැනට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වශයෙන් හඳුනාගනු ලැබ ඇති පුද්ගලයන් සමග භෞතිකව හෝ මාර්ගගත තාක්ෂණය ඔස්සේ මුණගැසී ඇති පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වශයෙන් හඳුනාගත හැකි බව මෙම පනත් කෙටුම්පතේ දැක්වේ.

පච්ච විලාසිතා ගැන පනත් කෙටුම්පතේ ඇති දේ

එමෙන් ම එවැනි අපරාධ කල්ලියක් සමග අන්‍ය ආකාරයකින් සබඳතා පවත්වන ලද සහ ඔවුන් සමග එක්ව අපරාධ ක්‍රියාවල යෙදුණු සහ ඒ හේතුවෙන් මීට පෙර එක් අවස්ථාවකදී හෝ සිරදඬුවම් ලද අය ගැනත් ප්‍රතිපාදන දක්වන අතරේ යම් පුද්ගලයකු අපරාධ කල්ලියක සාමාජිකයකු වශයෙන් සලකා බැලීමේදී ඔවුන් අතර පොදු හස්ත මුද්‍ර පවතින්නේ නම් එනම්, දන්න අපරාධ කල්ලියක් විසින් භාවිත කරනු ලබන හස්ත මුද්‍රා පවතින්නේ නම් සහ ඒ හා සමාන හස්ත මුද්‍රාවක් සැකකරු විසින් ද භාවිත කරනු ලැබ ඇති බව හෙළි වුවහොත් සහ ටැටූ නොහොත් පච්ච කෙටීමක් සිදු කර ඇති අවස්ථාවක සහ දන්න අපරාධ කල්ලියක සාමාජිකයන් පලඳින නිශ්චිත ඇඳුම් විලාසිතාවක් සැකකරු විසින් ද අනුගමනය කරනු ලැබ ඇත්නම් එවැනි පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් වශයෙන් සලකමින් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට හිමි වේ. ගැටලුව තිබෙන්නේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පිළිබඳ කාරණයේ නොව අත්අඩංගුවට ගැනීමෙන් පසු අනුගමනය කළ යුතු පටිපාටියේ දී ය.

රඳවා තබාගැනීමේ බලය විධායකයේ ක්‍රියාවලියට යටත් කිරීම

එසේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණමය මැදිහත්වීම ඉතා අවම මට්ටමක පවතින බව මෙම පනත් කෙටුම්පත අනුව දැකිය හැකි ය. යම් පුද්ගලයකු සිරගත කරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට අධිකරණයට ඇති ස්වාධීන බලය ඉතා වැදගත් කොට සලකනු ලබයි. අධිකරණයේ ස්වාධීනත්වය සහ අභිමතය යම් ආකාරයකට පාලනය කිරීමක් මේ පනත් කෙටුම්පතෙන් සිදුවන්නේ නම් එය ගැටලුකාරී තත්ත්වයකි. අධිකරණය ඉක්මවා යමින් විධායකයට විශාල බලයක් ලැබී ඇති බව පෙනී යයි. විධායකයට පොලිසිය ද ඇතුළුව  රාජ්‍ය තන්ත්‍රය ඇතුළත ක්‍රියාත්මක වන ඕනෑම ආයතනයක් අයත් වේ. සැකයක් මත පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට එම විධායක ආයතනවලට බලය ලැබී තිබේ.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකු සම්බන්ධයෙන් ළඟම ඥාතියකුට දැනුම් දිය යුතු අතර එම ඥාතියාට සැකකරු මුණගැසීමට ද ඉඩ ලබා දිය යුතු ය. එසේ අත්අඩංගුවට ගැනීමක දී ඊට බලපෑ හේතු, රඳවා තබාගන්නා කාලය, ස්ථානය මේ ආදී විස්තර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු ය. මේ විධිවිධාන සැලකිය හැක්කේ පනත් කෙටුම්පතට එල්ල වන විවේචන හමුවේ යම් තුලනය කිරීමට ගත් උත්සාහයක් හැටියට ය.

රඳවා තබාගැනීමට අදාළ වෙනස් වන විධිවිධාන

මේ පනත් කෙටුම්පතට අනුව, අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයකු පැය 72 ක කාලයක් රඳවා තබාගැනීමට පිළිවන. එම කාලය ඇතුළත අදාළ පුද්ගලයා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර රඳවා ගැනීමේ නියෝග මත වසරක කාලයක් දක්වා රඳවා තබා ගත හැකි ය. රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට හෝ පොලිස්පතිවරයා විසින් බලය පවරනු ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිය හැකි අතර එසේ ලබාගන්නා නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ සැකකරු මාස දෙකක කාලයක් දක්වා රඳවා තබාගැනීමට එම නියෝගය අනුමත කිරීමට මහේස්ත්‍රාත්වරයාට සිදු වේ. එබැවින් මේ පනත් කෙටුම්පතෙන් විධිවිධාන සලසා ඇති රඳවා තබාගැනීමේ නියෝගවලට අදාළ ක්‍රියාවලිය අධිකරණයේ බලයට යටත් කාර්යයක් නොවන අතර විධායකයේ ක්‍රියාවලියට යටත් කටයුත්තක් බවට පත් කොට තිබේ. එසේ රඳවා තබාගනු ලබන පුද්ගලයකුට කරුණු සලකා බැලීමෙන් පසු ඇප ලබා දෙන්නේ ද යන තීරණය ගැනීමේ බලය තිබෙන්නේ මහාධිකරණයට යි.

සැකකරුවකුගේ පාපොච්චාරණයක් ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාව

පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය යටතේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වශයෙන් සැකකරමින් ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලබා දී තිබේ. මෙය පොලිසියට අසීමිත බලය පැවරීමක් ද යන කුකුස මතු වේ. 47 වැනි වගන්තියට අනුව යම් සැකකරුවකු පොලිස් නිලධාරියකු ඉදිරියේ කරන පාපොච්චාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාව ද මේ පනත් කෙටුම්පතෙන් ඇති කර තිබේ. මෙය සාක්ෂි නීතියේ මූලික සිද්ධාන්තවලට පවා පටහැනි තත්ත්වයකි. මෙම ප්‍රතිපාදනය ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ද ඇතුළත් වේ. සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඉන් ඉහළ නිලධාරියකු ඉදිරියේ සැකකරුවකු විසින් කරනු ලබන පාපොච්චාරණයක් සහ සැකකරු විසින් එයට අත්සන් කරනු ලැබ ඇත්නම් එය ඔහුට හෝ ඇයට හෝ විරුද්ධව සාක්ෂියක් වශයෙන් යොදා ගත හැකි බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ. සාමාන්‍ය නීතියෙන් ආවරණය කළ නොහැකි කාරණා රාශියක් ආවරණය කරගැනීමට මෙම පනත් කෙටුම්පතෙන් උත්සාහ කර ඇති බව පෙනේ. පොලිසියට හා පරීක්ෂණ නිලධාරීන්ට පවරා ඇති අසීමිත බලතල හේතුවෙන් මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කර ඇති අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.

සංශෝධනවල අවශ්‍යතාව

ඕනෑම රටක ප්‍රශස්ත නීති පද්ධතියක් සකස් කිරීමේදී අපරාධ සහ සංවිධානාත්මක අපරාධවලින් සමස්ත පුරවැසියන් ආරක්ෂා කරන අතරේ තනි තනි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රමුඛාවධානයක් යොමු වේ. ඒ දෙක අතර තුලනයක් ඇති වන පරිදි නීති පද්ධතිය සකස් කළ යුතු බව මූලික සිද්ධාන්තයකි. නීතියේ බලය, මානව අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය යන මූලික සංකල්පවලට මූලිකත්වය ලබාදීම වැදගත් ය. ඒවා උල්ලංඝනය කරමින් ගෙනෙනු ලබන නීතිවලින් සිදුවන්නේ රාජ්‍ය පාර්ශ්වයේ දිගුකාලීන අරමුණු ඉෂ්ට කරගැනීම විනා පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ද යන සංශය මතු වේ. ඒ දෘෂ්ටිකෝණයෙන් බලන විට මේ පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනයට ලක් විය යුතු බවත් අධිකරණය මගින් තවදුරටත් සුපරික්ෂාකාරීව නිරීක්ෂණයට බඳුන් විය යුතු බවත් පැහැදිලි ය.

උපුල් වික්‍රමසිංහ