සජිත් ප්‍රේමදාසට මාව තේරුම් ගන්න බැරිනම් ඒක එයාගේ ප්‍රශ්නයක්


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී,

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක 

මනෝ ගනේෂන්

මේ ජනාධිපතිවරයට  ජන වරමක් නෑ.  පොහොට්ටුවට ජනවරමක් නෑ.  ඒ නිසා මැතිවරණයකට යා යුතුයි.

 

  • රටේ ප්‍රශ්න නැති කාලෙත් සුළුජාතීන්ගේ ප්‍රශ්නවලට මහ පක්ෂ විසඳුම් දුන්නේ නෑ. රටේ තියෙන අර්බුද පාවිච්චි කරලා අපේ ඉල්ලීම් දිනාගන්න යනවා කියන එක වැරැදි චෝදනාවක්නේ. 
  • අවුරුදු හැත්තෑ හතරක්ම රටේ මෙහෙම ප්‍රශ්න තිබුණේ නෑ. හොඳ කාල තිබුණනේ. නමුත් ප්‍රශ්න විසඳුවේ නැහැනේ. මේ ප්‍රශ්න විසඳන්න අකමැති අය මොකක් හරි කියල මගහරිනවා. 
  • අපි වගේ මැද මාවතේ යන අයගේ දෑත් ශක්තිමත් කරන්න ඕනැ. අපි දෙමළ ජනතාවටත් කියනවා. ඉර හඳ ඉල්ලන්න එපා. නොබෙදුණ එකම රටක් තුළ තමයි අපි මේ ප්‍රශ්නය විසඳා ගන්න ඕනෑ කියලා සිංහල අන්තවාදීන්ට අපි කියනවා.
  •  ‘අපට මොකවත්ම දෙන්න බෑ’ කියලා ඔබලාට කියන්න බෑ. මේ රටේ තිබෙන සම්පත් සමානව භුක්ති විඳිමු කියලයි අපි කියන්නේ. මම ඉන්නේ අන්න ඒ මැද මාවතේ. ඒක තමයි සැබෑ ශ්‍රී ලාංකික ජාතියේ මාවත. 

 

රටේ දේශපාලන තත්ත්වය දිනෙන් දින වෙනස් වේ. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සමග මේ සංවාදය වෙනස්වන දේශපාලන තත්ත්වය ගැන වේ.   

?ජනාධිපති රනිල් සමග තිබුණ සර්ව පාක්ෂික සමුවේදී මොකද වුණේ?   


පිළිතුර:- ඒ සමුළුව ගැන නම් අපට මුලදී ලොකු අනවබෝධයක් තිබුණා. 

 
?ඒ ඇයි?   


පිළිතුර:- ඒ ඇයි කියන්නේ විපක්ෂය හැටියට සමගි ජන සන්ධානය හැටියට අපි හිතුවේ ඡන්දය කල් දැමීමේ උප්පරවැට්ටියක් දාන්න තමයි යන්නේ කියලා. එහෙම අදහසක් අපට තිබුණා. ඇත්ත කියන්න එපැයි.   


?ඒ නිසාම නොයන්නත් හිටියා.   


පිළිතුර:- නෑ නෑ අපි යන්න හිටියේ. ඒකේ ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. අපි එතැනට යනකොටම දැක්කා බැනැර් එකක් තිබුණා. ජාතික සන්හිඳියාව සම්බන්ධ සර්ව පාක්ෂික සමුළුව කියලා ඒකේ ගහලා තිබුණා. ජනාධිපතිවරයා ඡන්දය ගැන කතා කළේම නෑ. ඒ ගැන කතා කළේ අපි තමයි.   


?එතැනදී ඔබ යෝජනා කළේ 13+ ක්‍රියාත්මක කරන්න කියලා?   


පිළිතුර:- නෑ මම ප්ලස් කිව්වෙත් නෑ මයිනස් කිව්වෙත් නෑ. මොකද ජනාධිපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. ඍජුවම මගෙන් ඇහුවා ‘ඔබේ විසඳුම මොකක්ද’ කියලා. සුමන්තිරන් මන්ත්‍රීතුමාගෙන්, ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාගෙන්, විපක්ෂයේ සියලුම දෙනාගෙන් එහෙම ඇහුවා. නීත්‍යානුකූල බලය බෙදීමකට කැමැති ද කියලා ඇහුවා.   


?ඔබේ පිළිතුර වුණේ?   


පිළිතුර:- මම කැමැතියි. පෙබරවාරි මාසේ 4 වැනිදා හැත්තෑ පස්වැනි නිදහස් සංවත්සරය වෙනකොට යම්කිසි ක්‍රමවේදයක් අදියරයක් ගමු කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඒ නිසා මම කිව්වා දැන් තියෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලා උතුරු හා නැගෙනහිර පළාත් දෙකට විතරක් හරි පළාත් සභා ඡන්දය තියලා ඔබතුමාගේ උත්සාහයේ අවංකභාවය පෙන්වන්න කියලා.   


?උතුරට හා නැගෙනහිරට පමණක් ඡන්දය තිබ්බොත් එතැනින්ම බෙදීම ආරම්භ වෙනවා නේද? එතකොට දකුණට මොකද වෙන්නේ?   


පිළිතුර:- නෑ නෑ මම එහෙම කිව්වේ නෑ. එහෙම අර්ථකථනය කරන්න එපා. මොකද සමුළුවේ හිටියේ ජනාධිපතිවරයා විතරක් නොවෙයිනේ. ඒ වේදිකාවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායක ජනාධිපතිතුමාගේ වම් පැත්තේ වාඩිවෙලා හිටියා. දකුණු පැත්තේ වාඩිවෙලා හිටියේ මහින්ද රාජපක්ෂ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. මම කිව්වා ජනාධිපතිතුමනි ඔබතුමා බලය බෙදීමට එකඟයි. මහින්ද රාජපක්ෂ 13+ දෙනවා කිව්වා. සජිත් ප්‍රේමදාස මහතා නායකතුමන් 13 ට එකඟයි. ප්‍රධාන කණ්ඩායම් තුනම එකම තැනක ඉන්නේ. ඉතින් පොදුවේ එකඟතාව තියෙන දෙයින් පටන් ගන්නකෝ. ආරම්භක පියවරක් වශයෙන් එතැනින් පටන් ගමු. විසඳුම දෙන්න යන්නේ ජාතික ප්‍රශ්නයටනේ, ඒ නිසා උතුරේ හා නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන්න. කැමැති නම් පළාත් නවයටම ඡන්දය තියෙනවා නම් අපි අත්දෙකම උස්සලා එකඟතාව පළ කරනවා. ඒත් ඒකට විශාල වියදමක් යනවා කෝටි 1700 ක් විතර යයි.   


?මෙතැන ප්‍රශ්නය තියෙන්නේ පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම ගැනයි?   


පිළිතුර:- නෑ නෑ පොලිස් බලතල හා ඉඩම් බලතල ගැන නිකම් අනවබෝධයෙන් කතා කළ යුතු නැහැ. පොලිස් බලතල දැනටමත් මුළු ර​ටේම බෙදලා දීලා තියෙන්නේ. උතුරට වෙනම පොලිසියක් නෑ. ශ්‍රී ලංකා පොලිසිය තමයි එහෙ  තියෙන්නේ.  මුළු  රටටම  ඉන්නේ එකම පොලිස්පති කෙනෙක්. කොළඹ ඉන්න පොලිස්පති  යටතේ තමයි   මුළු රටේම පොලිස් ස්ථාන  පාලනය  වන්නේ.  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   කෙනෙක්  නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සෑම පළාතකටම ඉන්නවා. උතුරෙත් එහෙමයි. නැගෙනහිරත් එහෙමයි. දකුණෙත් එහෙමයි. යාපනය පොලිසියේ රථවාහන අංශය රථවාහන පාලනය කරන්නේ කොළඹින් උපදෙස් අරගෙන නොවෙයිනේ. සෑම අංශයක්ම එහෙමයි. ඉතින්  පොලිස්   බලතල  දීලා ඉවරයි.  රටේ හැමතැනම තියෙන්නේ ශ්‍රී ලංකා පොලිස්.   


?සුළු ජාතික පක්ෂ මේ මොහොතේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චාගන්න හදන්නේ?   


පිළිතුර:- රටේ ප්‍රශ්න නැති කාලෙත් සුළුජාතීන්ගේ ප්‍රශ්නවලට මහ පක්ෂ විසඳුම් දුන්නේ නෑ. රටේ තියෙන අර්බුද පාවිච්චි කරලා අපේ ඉල්ලීම් දිනාගන්න යනවා කියන එක වැරැදි චෝදනාවක්නේ. අවුරුදු හැත්තෑ හතරක්ම රටේ මෙහෙම ප්‍රශ්න තිබුණේ නෑ. හොඳ කාල තිබුණනේ. නමුත් ප්‍රශ්න විසඳුවේ නැහැනේ. මේ ප්‍රශ්න විසඳන්න අකමැති අය මොකක් හරි කියල මගහරිනවා. අපි වගේ මැද මාවතේ යන අයගේ දෑත් ශක්තිමත් කරන්න ඕනැ. අපි දෙමළ ජනතාවටත් කියනවා. ඉර හඳ ඉල්ලන්න එපා. නොබෙදුණ එකම රටක් තුළ තමයි අපි මේ ප්‍රශ්නය විසඳා ගන්න ඕනෑ කියලා සිංහල අන්තවාදීන්ට අපි කියනවා. ‘අපට මොකවත්ම දෙන්න බෑ’ කියලා ඔබලාට කියන්න බෑ. මේ රටේ තිබෙන සම්පත් සමානව භුක්ති විඳිමු කියලයි අපි කියන්නේ. මම ඉන්නේ අන්න ඒ මැද මාවතේ. ඒක තමයි සැබෑ ශ්‍රී ලාංකික ජාතියේ මාවත.   


?ටී එන් ඒ එකේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ ‘ෆෙඩරල් විසඳුමක් අවශ්‍යයි’ කියලයි?   


පිළිතුර:- ෆෙඩරල් ද වෙන මොකක්ද කියලා කියන්න පුළුවන්. ඒකට අයිතියක් තියෙනවනේ. ඒක නීති විරෝධී නෑනේ. රට කඩන්න ඕන කියලා කිව්වොත් ඒක නීති විරෝධියි. එහෙම කරන්නේ නෑ කියලා දිවුරුම් දීලනේ අපි කවුරුත් ඇවිත් ඉන්නේ. අපි කියන්නේ 13 වැනි සංශෝධන පදනම් කරගෙන පටන් ගමු. ඉතිරි ටික සාකච්ඡා කරමු. සම්බන්ධන්නේ ටී එන් ඒ එකේ නායකයා එයා මොනවද කියන්නේ’ මොන විසඳුම ආවත් ඒකට බහුතර සිංහල ජනතාව එකඟතාව පළ විය යුතුයි. එතකොට තමයි විසඳුම සාර්ථක වෙන්නේ’ කියලා. ඊට වඩා මොනවද ඕනැ.   

 

පොලිස් බලතල හා ඉඩම් බලතල ගැන නිකම් අනවබෝධයෙන් කතා කළ යුතු නැහැ. පොලිස් බලතල දැනටමත් මුළු ර​ටේම බෙදලා දීලා තියෙන්නේ. උතුරට වෙනම පොලිසියක් නෑ. ශ්‍රී ලංකා පොලිසිය තමයි එහෙ  තියෙන්නේ.  මුළු  රටටම  ඉන්නේ එකම පොලිස්පති කෙනෙක්. කොළඹ ඉන්න පොලිස්පති  යටතේ තමයි   මුළු රටේම පොලිස් ස්ථාන  පාලනය  වන්නේ


?ජනාධිපති රනිල් මේ මාතෘකාව කරළියට ගේන්නේ රටේ දැවෙන ප්‍රශ්න යටපත් කරන්න කියලා චෝදනාවක් තියෙනවා?   


පිළිතුර:- ඒක අහන්න ඕනැ ජනාධිපතිවරයාගෙන්. මම නොවෙයිනේ රටේ ජනාධිපති.   


?ඔබට හිතෙන්නේ නැද්ද එහෙම උපක්‍රමයකට ඔබලා අහුවුණා කියලා?   


පිළිතුර:- අපි අහුවෙන්නේ නෑ. රට ඒකට අහුවෙලා තියෙනවා. රට බංකොළොත් වෙලා තියෙන්නේ ඒ නිසයි. ඒකට මේ රට පාලනය කරපු ජනාධිපතිවරුන් අගමැතිවරුන් අපි ඇතුළු හැමෝම වගකීම බාර ගතයුතුයි. මම නම් ඔය ගොඩක් වැරැදි වැඩ කරලා නෑ. නමුත් සාමූහිකව ඒ වගකීම බාරගත යුතුයි. ඒ ගුණාංගය තියෙනවා මට කවුරුහරි මේ ප්‍රශ්න විසඳනවා කිව්වොත් අපි අවශ්‍ය සහයෝගය දෙනවා.

   
?ඒ කියන්නේ ආණ්ඩුවට යනවා?   


පිළිතුර:- නෑ නෑ ඒකට ආණ්ඩුවට යන්න අවශ්‍ය නෑ. විපක්ෂයේ ඉඳගෙන ඒ සහ​යෝගය දිය හැකියි.   


?ඔබ ඉන්න ස්ථාවරයෙමද සමගි ජන බලවේගය ඉන්නෙත්?   


පිළිතුර:- සමගි ජන බලවේගය මගේ පක්ෂය නොවෙයිනේ.  සමගි ජන  සන්ධානයේ මම ඉන්නේ. පක්ෂ අතර වෙනස්කම් තියෙනවනේ. සජබෙ එන්නෙත් රටේ ප්‍රශ්න විසඳන්න නේ. ඒත් විසඳන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා.   


?මන්ත්‍රී රාජිත නම් කියන්නේ රනිල් ඉන්න තැන හරි. අපි ඔහුට උදව් කරන්න ඕනැ කියලා.   


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ ඉන්න තැන හරි කියලා මම නම් කියන්නේ නෑ. මේ රටට ආපු කවුරුවත් හරි නෑ. ඒකනේ අපි මේ තැනට වැටුණේ. හිටපු ගමන් බුදුහාමුදුරුනමක් පහළ වෙලා අපේ රට ගොඩගන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුස් කෙනෙක් අල්ලා කෙනෙක් ඇවිත් රට ගොඩගන්නේ නෑ. එහෙම කිසිම කෙනෙක් පේන්න නෑ. ඔක්කොම වැරැදියි. මම විතරයි හරි කියලා කාටවත් කියන්න බෑ. ඒකනේ මම කිව්වේ වැරැද්ද බාර ගන්නවා කියලා දැන් අවස්ථාව තියෙන්නේ අපි එකතු වෙලා රට ගොඩගැනීමටයි.   


?ඕක හොඳටම කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුවට ගියොත්?   


පිළිතුර:- මම එහෙම හිතන්නේ නෑ.   


?විපක්ෂයේ ඉන්නවා කියන එකෙන්ම එකඟතාව නැති වෙනවනේ?   


පිළිතුර:- නෑ නෑ විවිධ පක්ෂ තියෙනවනේ. විවිධ මත තියෙනවනේ. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විසඳන්න පුළුවන් ප්‍රශ්න ටික විසඳාගෙන අපි මැතිවරණයකට යමු. එතකොට ජනතාව තීරණය කරයි.


?මන්ත්‍රී රාජිත කියන්නේ රනිල් එක්ක යන් කියලා මන්ත්‍රී සරත් ෆොන්සේකා කියන්නේ අරගලකරුවන් සමග යමු කියලා. සජිත් තව කතාවක් කියනවා. මොකක්ද මේ සජබෙට වෙලා තියෙන්නේ.   


 පිළිතුර:- මනෝ ගනේෂන් කියන්නේ සජිත් ප්‍රේමදාස නොවෙයි. මනෝ ගනේෂන් සරත් ෆොන්සේකාත් නොවෙයි. රාජිත සේනාරත්නත් නොවෙයි. මනෝ ගනේෂන් කියන්නේ මනෝ ගනේෂන්ට, සජිත් කියන එක හරි සරත් ෆොන්සේකා හරි රාජිත හරි කියන එක අත්වැල් බැඳගෙන ඇස්දෙක පියාගෙන පිළිගන්න මේ මනෝ ගනේෂන් සූදානම් නෑ. මම මේ රටේ මිලිටරි සපත්තුවට, පොලිස් සපත්තුවට, රාජ්‍ය තස්ත්‍රවාදයට යටවෙලා අවුරුදු හැත්තෑ පහක් දුක් විඳින ජනතාවගේ නියෝජිතයා මම. පක්ෂ නායකයා මම. මට වගකීමක් තියෙනවා. මට ලැබෙන හැම අවස්ථාවක්ම ඒ ජනතාව වෙනුවෙන් මම පාවිච්චි කරනවා. ඒකට ඇමැතිකම් අවශ්‍ය නෑ. එහෙම නම් මේ ආණ්ඩුවේ පළමු ඇමැතිවරයා මමයි. මටයි මුලින්ම ආරාධනාව ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්මය මං ගැන එච්චර විශ්වාස කිරීම ගැන මම ආඩම්බර වෙනවා. මම අවංකවම ඉන්න තැන ඉන්න කෙනෙක්. සජිත් ප්‍රේමදාස සමග අපි පක්ෂයක් හැටියට ඉන්නවා. සජිත් ප්‍රේමදාසට මාව තේරුම් ගන්න බැරි නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නයක් නොවෙයි. දමිළ ජාතික පෙරමුණට නායකත්වය දෙන මනෝ ගනේෂන් හරියට තේරුම් ගන්න බැරිනම් තමන්ගේ සන්ධානයේ කොටස්කාර පක්ෂයක් හැටියට අවංකවම අපි ඉන්නවා කියාල සජිත්ට තේරුම් ගන්න බැරි නම් ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි. සජිත්ගේ ප්‍රශ්නයක්.   

 

මනෝ ගනේෂන් කියන්නේ සජිත් ප්‍රේමදාස නොවෙයි. මනෝ ගනේෂන් සරත් ෆොන්සේකාත් නොවෙයි. රාජිත සේනාරත්නත් නොවෙයි. මනෝ ගනේෂන් කියන්නේ මනෝ ගනේෂන්ට, සජිත් කියන එක හරි සරත් ෆොන්සේකා හරි රාජිත හරි කියන එක අත්වැල් බැඳගෙන ඇස්දෙක පියාගෙන පිළිගන්න මේ මනෝ ගනේෂන් සූදානම් නෑ.


?ඔය ගැටුම් පුපුරලා ගිහින් කොයිවෙලාවක හරි ඔබ එළියට වැටෙයි?   


පිළිතුර:- එළියට වැටෙන්නේ නෑ. අපිව කාටවත් විසි කරන්න බෑ. ඕනෑ නම් අපි ඉවත් වෙනවා.   


? ඩයනා ගමගේ කියනවා බැරිවෙලාවත් එයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණොත් සජබෙ සියලු දෙනාගෙම මන්ත්‍රී ධුර අහෝසි වෙනවා කියලා?   


පිළිතුර:- මන් දන්නෑ එයා මේ නීතිය ඉගෙන ගන්නේ කොහෙන්ද කියලා. පොඩ්ඩක් හොයලා බලන්න කොහෙන්ද ඉගෙන ගන්නේ කියලා. පක්ෂය ඡන්දය ඉල්ලනකොට ඒ අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා මේ පක්ෂය පිළිඅරගෙන තිබුණා. එතැනින් මේ ගේම ඉවරයි.   


?ඡන්දයකට යා යුතුයි කියලා කියනවා ඔබත් එහෙම කියනවද?   


පිළිතුර:- මේ ජනාධිපතිවරයට ජන වරමක් නෑ. පොහොට්ටුවට ජනවරමක් නෑ. ඒ නිසා මැතිවරණයකට යා යුතුයි.   


?පොහොට්ටුව කියනවා එජාපයත් සමග සන්ධානගත වෙනවා කියලා?   


පිළිතුර:- ඒක අපට අදාළ නෑ.

 

 

 සාකච්ඡා කළේ   
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්