වියත්මගෙන් අපි බලාපොරොත්තු වූ දේ ඉටු කරගන්න බැරි උනා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   
ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමේ නායක   
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය

 චන්න ජයසුමන

ඉතාම කෙටි කලක් තුළ මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් නොනැවතී ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයෙන්ම පුපුරා ගියේ පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණයේදීය. ඉන් අනතුරුව එම පක්ෂය තුළ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමක් බිහිවිය. මේ සාකච්ඡාව එම ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා සමගය.   


?මා ඔබ හැඳින්විය යුත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් කියල ද? ඩලස් පිලේ මන්ත්‍රී කෙනෙක් කියල ද?   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ මන්ත්‍රී කෙනෙක් කියලා හඳුන්වනවා නම් මම කැමැතියි.   


?ඔය තරම් ප්‍රතිසංස්කරණය කරන්න මොනව ද තියෙන්නේ?   


මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයේ සිටම එහි ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළා. 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් 2019 ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේදීත් සක්‍රීයව ද‌ායකත්වය ලබා දුන්නා. ඒ වගේම පක්ෂයේ ආරම්භයේ සිටම පැනනැගුණු හැම කාරණයකදීම හැම ප්‍රශ්නයකදීම පක්ෂයත් එක්ක හිටියා. ඒ වගේම පක්ෂයේ ප්‍රතිපත්ති රැකගන්න කටයුතු කළා. නමුත් අපට පේනවා ගෙවිච්ච මාස 18 ක පමණ කාලයක සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේ දී තිබුණ පරමාර්ථ අභිලාෂයන් මෙන්ම ප්‍රතිපත්තිවලින් බැහැර වෙමින් තිබෙනවා කියලා. ඒකේ පරිසමාප්තියට පත්වීමක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට සීයට සීයක්ම වෙනස්. අහසට පොළොව වගේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ තිබුණ ජනාධිපතිවරණයේ දී උදව් කිරීම. මේ දෙක යාදෙන නොරත රත වගේ පාහන්න බැරි දෙකක්. දැන් ක්‍රමානුකූලව අපට පේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළු කුහරයකට ඇදිලා යනවා වගේ එක්සත් ජාතික පක්ෂය තුළ ගිලිලා අවශෝෂණය වෙලා යන ස්වභාවයක්. ඒ නිසා තමයි අපි හිතුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේ දී අපි බලාපොරොත්තු වෙච්ච ඒ ප්‍රතිපත්ති ඒ අභිලාෂයයන් ඉෂ්ඨ සිද්ධ කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම හැටියට හඳුන්වන්නේ.   


?ඔබත් වියත් මග හරහා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ වියත් හඬට ඉඩක් පොහොට්ටුව තුළ තිබුණේ නැද්ද?   


ඇත්තටම වියත් මගට මම සම්බන්ධ වුණේ පසුකාලීනව මම ‘එළිය’ කියන වැඩසටහනත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සම්බන්ධ වුණේ. වියත් මගේ සක්‍රීය සාමාජිකයෙක් හැටියට මම කටයුතු කළේ නෑ. නමුත් මම එහි සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.   


?ඒක තමයි. ඔබලාගේ හඬට ඉඩක් ලැබුණේ නැද්ද?   


වියත් මග තුළින් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ඨ කරගන්න බැරිවුණා. ඒ නිසා වියත් මගට පැවරිලා තිබුණ කාර්යභාරය ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. එහි හොඳ අරමුණු පරමාර්ථ තිබුණා. ඒවා රැකගෙන ඉදිරියට යාම සඳහා මම හිතනවා අපට නව ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා.   


?ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම මෙහෙම විසඳුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඔබේ කියැවීම?   


ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයෙක් විදියට එතුමා ඉතාම අවංක, රටට ආදරය කරන හැම ජාතියට ආදරය කරන බුදු දහමට ආදරය කරන මේ රටේ ජනතාවට ආදරය කරන පුද්ගලයෙක් කියලයි මම හිතන්නේ. නමුත් දේශපාලනික වශයෙන් එතුමාට අත්දැකීම් නැහැ. ඒ වගේම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ අපි නිරීක්ෂණය කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිත් අයගේ අදහස්වලට කන් දෙන්නේ නැතිව කටයුතු කරන ස්වභාවයක්.   


?ඔබ අනිත් අය කියලා කිව්වේ?   


මම අනිත් අය කියලා කිව්වේ ජනාධිපතිවරයාට පෙර එතුමාත් එක්ක කටයුතු කරපු කණ්ඩායම කියන හැඟීමෙන්. එතුමා ජනාධිපති වුණාට පස්සේ එක්කෝ එතුමා කවුරුවත් කියන​දේකට ඇහුම්කන් දුන්නේ නෑ. එහෙම නැත්නම් අපි නොදන්න ජනාධිපතිවරණයේ දී එතුමට සහාය නොදීපු කිහිප දෙනෙකුට පමණක් ඇහුම්කන් දුන්නා වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් එතුමාගේ අසාර්ථක භාවයට හේතුවක් කියාල අපි හිතනවා. රටට අවශ්‍ය දේ නොවෙයි එතුමා කළේ. පුද්ගලයන් කිහිප දෙනෙකුට අවශ්‍ය දේ තමයි කළේ. එතුමාගේ අත්දැකීම්ම පිළිබඳ ප්‍රශ්නයත් හේතු වුණා. ඒ වගේම එතුමා සතුව තිබුණ අධිෂ්ඨානශීලි භාවය ක්‍රමානුකූලව දියවෙලා ගියා. පුද්ගලයන් හඳුනා ගැනීමේ දී එතුමා දුර්වලතාවයක් දැක්වූවා. වැරැදි උපදෙස් දීපු පුද්ගලයන්ව එතුමා විශ්වාස කළා. එතැනින් තමයි එතුමා අමාරුවේ වැටුණේ. එතුමා පමණක් නොවෙයි එතුමා බලයට ගේන්න කැපවුණු බහුතර ජනතා බලවේගයත් අමාරුවේ වැටුණා.   


?සමහරු නම් කිව්වේ ප්‍රශ්නවල නිර්මාතෘවරයා බැසිල් බවයි ?   


ඇත්තටම බැසිල් රාජපක්ෂ මැතිතුමා දක්ෂ සංවිධායකවරයෙක්. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවලා ප්‍රාදේශීය සභා මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළා. හැබැයි මම හිතනවා එතුමා ප්‍රසිද්ධ දේශපාලනයේ දී කටයුතු කිරීමේ දී පුද්ගල සම්බන්ධතාවල දී ඉතාම ඉක්මනට පුද්ගලයන් තරහා කරගන්නවා. නමුත් මම හිතන්නේ නෑ චරිතයක් හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා පමණක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අසාර්ථක භාවය හේතුව කියලා. එතැනදී මම ද ඇතුළුව ඒක ගැන සාමුහික වගකීමක් තියෙනවා. ඒ සාමුහික වගකීම ඇතුළේ අනිත් අයට වැඩිය වැඩි පංගුවක් බැසිල් රාජපක්ෂ මහතාට තියෙනවා. මොකද එතුමා මුදල් අමාත්‍යාංශය බාර ගත්තා. ඒ කාලය තුළ මේ වැටීම තව ඉක්මන් වුණා.   


?ඔබේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ නායකයා ජී.එල්. ද, ඩලස්ද?   


ඇත්තටම එක නායකයෙක් පත් කරගෙන වැඩ කරනවට වැඩිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට තමයි මූලිකත්වය ලබා දීලා තියෙන්නේ. අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන නිසා අපි සියලු දෙනාම සාමුහිකව කටයුතු කරනවා. එක නායකයෙක් පත්කර ගැනීමක් තාම නෑ.      


?පොහොට්ටුව ඇතුළේ රනිල් ජනාධිපති කරවීමේ වුවමනාව තිබුණේ කාට ද?   


ඒක අපි පැහැදිලිවම දැක්කනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ‘අපි උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට’ කියලා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබුණු ඡන්ද 134 න් අතිශය බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව. එතකොට එතුමාට උදව් කළේ කවුද කියන එක රහසක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමෙන් යම් ආකාරයක ලාභයක් වාසියක්. තනතුරක් ලැබිලා තියෙනවා නම් ඒ අය තමයි එතුමා ගේන්න මහන්සි වුණේ.   


?රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට තමයි රනිල් ජනාධිපති කරගත්තේ කියලත් කියනවා?   


ඒක කියන්න ඉක්මන් වැඩියි සීයට සීයක්ම ඒක එහෙමද කියලා. නමුත් අනුරාධපුරයේ මගේ පාක්ෂිකයෝ, ක්‍රියාකාරිකයො එක්ක කතා කළාම ඒ අති බහුතරයකගේ අදහස වුණේ ඔබ කියන ආකාරයේ යම් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා ඉටු කිරීමට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාවේ කියලා. ඒක තමයි බිමේ තියෙන අදහස.   


?මහාචාර්ය ජී.එල්. පීරිස් තවමත් පොහොට්ටුවේ සභාපති ?   


ඔව්. එතුමාව අයින් කරලා නෑ. එතුමා අයින්​ වෙලත් නෑ. මං හිතන්නේ එතුමට එහෙම ඉවත් වෙන්න අදහසක් නෑ. එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරක්ෂක සභාපතිවරයා වගේම අදටත් කටයුතු කරනවා.     


?ඔබලා අලුත් පක්ෂයක් හදනව ද?   


ඇත්තටම මම මේ වෙලාවෙ දකින්නෙ 1951 දී බණ්ඩාරනායක මැතිතුමා අලුත් පක්ෂයක් පිහිටුවන කොට සමාජය කළ යම් පෙළගැස්මක්, අවශ්‍යතාවයක් තිබුණා. එතුමා ආරම්භයේ දී ලිබරල් පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා. පසුව ඒක අපේ රටේ ජාතිකත්වය සමාජ සාධාරණත්වය, මේ රටේ දුක්විඳින පීඩිත ජනයාගේ ස්වදේශික හැඟීම් අගය කරන ජනයාගේ පක්ෂය බවට ඒ පක්ෂය පත් කළා. අද බැලුවම ඒ අවස්ථාව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමයි. ඒ බලවේගය අපි නිර්මාණය කළේ ඒ අධිෂ්ඨානය පෙරදැරිව. අපි ප්‍රගතිශීලි ගමනක් යන්න බත්කන මිනිසාගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා අපි නිර්මාණය කළේ. ඒ පක්ෂය අද දියාරු වෙමින් යනවා. ඒ වගේම ඒ පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහණයට හසුවෙලා තියෙනවා. ඒ නිසා මේ ලක්ෂ 69 තුළ නියෝජනය වන මේ රටට ආදරය කරන සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් දේශපාලන බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාව මට පේන්නේ නෑ. දැනට තියෙන වෙනත් කිසිදු බලවේගයකින් සම්පූර්ණ කරනවා කියලා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ රටේ ස්වදේශික ජනයාගේ සිතුම් පැතුම් සමග වැඩ කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන්න. 

 
?විමල් වීරවංශලාත් අලුත් සන්ධානයක් ගොඩ නගනවා කියනවා. ඔබලාත් ඒකට සම්බන්ධ වෙනව ද? 

 
ඇත්තටම ඒ සන්ධානයට සම්බන්ධ වෙන්න කියලා අපට සෘජු ආරාධනයක් ලැබිලා නෑ. නමුත් අපි හිතනවා විමල් වීරවංශ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම පහුගිය අවුරුදු 20 ක පමණ කාලයක සිට මේ රටේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ ජාතිකවාදී හැඟීම් දේශප්‍රේමි හැඟුම් ඇති අවංක කණ්ඩායමක් එතැන ඉන්නේ. ඔවුන්ගේ ගමනට අපි ආශිර්වාද කරනවා. ඉදිරියේ දී අපි හිතනවා මම මුලිනුත් කිව්වා වගේ අපි ප්‍රතිපත්තින් යටතෙයි ගමන් කරන්නේ. මේ කණ්ඩායම් ගහට ගහක් මොරටුවේ දී හමුවෙනවා වගේ අනාගතයේ දී එකතු වෙන්න සන්ධාන ගොඩනගන්න පුළුවන්​ වෙයි. 

 
?රාජපක්ෂවරු සමග මින් පසු දේශපාලනයක් නෑ   


ඇත්තටම අපි පුද්ගලයෙක් මත හෝ පවුලක් මත කියලා නොවෙයි අපි මේ ප්‍රශ්නය දිහා බලන්නේ. අපට අවශ්‍ය වෙන්නේ අපේ මාතෘභූමිය පිළිබඳව අපේ රට, සමාජ සාධාරණත්වය මේ කියන මූලික කරුනුත් එක්ක එකඟ වෙන්න පුළුවන් දේශපාලන බලවේගය කොතැන ද තියෙන්නේ. තිබුණ එ්ක දුර්වල වුණා නම් ඒක තමයි ප්‍රශ්නය. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කියන ගුණාංග තිබූ නායකයෙක්. එතුමා නිසා තමයි අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ. රට සංවර්ධනය කළා. හැබැයි අපි කැමැති වුණත් අකමැති වුණත් අපට පිළිගන්න වෙලා තියෙනවා දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කායිකව මානසිකව එතුමාගේ වයසත් සමග දුබලතාවයට එමින් පවතිනවා. හැබැයි එතුමට තියෙන ගෞරවය අබමල් රොණක තරමින්වත් අඩුවෙන්නේ නෑ. නමුත් මේ රටේ ජාතික ව්‍යාපාරයට සිද්ධ වෙනවා මේ රටට ආදරය කරන මිනිසුන්ට සිද්ධ වෙනවා නව නායකයන් නිර්මාණය කර ගැනීමට. අපේ රටේ ඉතිහාසය පුරාවම සුදුසු පුද්ගලයන් සුදුසු කාලවල දී මතුවෙලා තියෙනවා. ඒ නිසා අපි කාලයට ඉඩදෙමු. ඒ සුදුසු පුද්ගලයන්ට මතුවීම සඳහා.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්