
ලබන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකතු වී නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල සමග කළ සාකච්ඡාවකි.
ලබන 21 වැනිදා නුගේගොඩ රැලියේ ඇත්ත අරමුණ මොකක් ද?
මම ඒ රැලියෙ ඇත්ත අරමුණයි, යටි අරමුණයි දෙකම කියන්නම්. ඇත්ත අරමුණු තමයි එක පොරොන්දු 1359 ක් දීලා බලයට ආපු මාලිමා ආණ්ඩුවට පසුගිය සැප්තැම්බර් මාසයට වසරක් පිරුණා. නමුත් ඒ දීපු පොරොන්දු වලින් එකක්වත් ඉටු කරලා නෑ. ඒ නිසා දුන් පොරොන්දු ඉටු කරනු.’ කියලා ආණ්ඩුවට බල කරලා ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම.
දෙවැනි අරමුණ තමයි මේ ආණ්ඩුව ඉතිහාසයේ නොවූ විරූ ලෙස දැවැන්ත දූෂණයක යෙදිලා ඉන්නවා. බාර් අද රෑ වහනවා කිව්වම බේබද්දෝ නොනවත්වා බොන ගානට තමයි මේ ආණ්ඩුව හොරකම් කරන්නේ.
ඉතින් කෝ විපක්ෂය ඒ ගැන කතා කරනවා?
ඒක තමයි විපක්ෂයෙන් ඒ ගැන ප්‍රමාණවත් හඬක් නැඟෙන්නේ නැති නිසා රටේ ජනතාවට අවබෝධයක් නෑ. මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවලටත් වැඩිය දූෂිත ආණ්ඩුවක් කියලා. ඒ වගේම තමයි ආණ්ඩුවට එරෙහිව කතා කරන ජනතාව මේවා, සිවිල් සංවිධාන වේවා, දේශපාලනඥයන්, මාධ්‍යයන් මර්දනය කිරීමේ භීෂණයක් වපුරලා තියෙන්නේ. ‘දූෂණය හා භීෂණය වහා නවතනු..’ කියන එක තමයි අපේ දෙවැනි සටන් පාඨය.
ඔබ කිව්වා යටි අරමුණකුත් තියෙනවා කියලා?
ඔව්. යටි අරමුණ තමයි දැන් විපක්ෂයෙ ඉන්න බලවේග අවුරුදු 75 ක් පුරාවට දෙකට බෙදිලා හිටියේ. එක දහරාවක් එජාපය. අනෙක් දහරාව ශ්‍රීලනිපය. දක්ෂණාංශික දහරාව. ජාතිකවාදී වාමාංශික දහරාව. මේ දහරාවන් දෙක මාරුවෙන් මාරුවට බලයේ හිටපු නිසා මේ දෙගොල්ලොත් නයි වෛරයෙන් ඉන්නේ කියලා කිව්වොත් ඒක තමයි ඇත්ත. නමුත් මේ දෙපාර්ශ්වයම අද ඉන්නේ විපක්ෂයේ. ආණ්ඩුවට එරෙහිව විපක්ෂය තර්ජනයක් වෙන්න නම් මේ එකිනෙකට ප්‍රතිවිරෝධී බලවේග දෙක සමගි විය යුතුයි. එහෙම සමගි වෙන්න නම් දෙපාර්ශ්වයම නම්‍යශීලී වෙමින් මැද තැනකට එන්න ඕනැ. ප්‍රතිපත්තිමය කාරණාවලදී.
දැන් නොවෙන්නෙත් ඒකමයි?
මෙහෙමයි. ඒක මීට පෙර සන්ධාන හදද්දි කරලා තියෙනවා. ඩග්ලස් දේවානන්ද මහත්තයත් අපිත් එකම සන්ධානයක ඉඳලා තියෙනවා. ඒ වගේම දක්ෂිණාංශික පක්ෂත් වාමාංශික පක්ෂත් එකම සන්ධානයේ ඉඳලා තියෙනවා. එහෙම සිටිද්දී අපට පොදු ප්‍රතිපත්තියකට එකඟ වෙන්න නම් හැමෝම නම්‍යශීලී වෙන්න ඕනැ. නම්‍යශීලී වෙනවා කියන්නේ තව කෙනෙනකුගේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපේ ප්‍රතිපත්තිය කැප කරන්න වෙනවා. හැබැයි, ඒ කැප කිරීම කරන්නේ හතුරෙකුට අපේ මිතුරෙක් වෙනුවෙන් තමයි අපි පරිත්‍යාග කරන්නේ. එහෙම වෙන්න නම් මුලින්ම සුහදතාවක් ඇති වෙන්න ඕනෑ. එක පැත්තකින් ආණ්ඩුවේ වැරැදි පෙන්වා දෙමින් ආණ්ඩුවට නිවැරැදි වෙන්න බල කරනවා.
අනික් අතින් මතවාදීව වෙනස් පක්ෂ අතර සුහදතාවක් ගොඩ නැඟෙනවා. ඒ සුහදතාව ගොඩනැගීම ඊළඟ ආණ්ඩුව බාර ගන්න ඉන්න විපක්ෂයේ පක්ෂ අතර සන්ධානයක් ගොඩ නැගීමට අවශ්‍ය කෙරෙන අඩිතාලම දාගන්න පුළුවන් වෙනවා.
ආණ්ඩුවට තාම අවුරුද්දයි. කල් වැඩි නැද්ද ආණ්ඩු විරෝධී සටන්වලට?
ඔබ හරි. අපේ ඉලක්කය රාජ්‍ය බලය ලබාගැනීම සඳහා සන්ධානයක් හැදීම නම්, ඔව්. කල් වැඩියි. මැතිවරණයට තව ගොඩක් කල් තියෙනවා. අපේ ඉලක්කය දුන්න පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීම නම් අපි දැනටමත් පරක්කු වැඩියි. අවුරුද්දකට වඩා ගතවෙලා තියෙනවා.
දැනට කරලා තියෙන්නේ ජනාධිපතිවරුන් නිල නිවාසවලින් එළවීම වගේ ජනතාවට වැඩක් නැති වැඩ. ජනතාවට බලපාන කිසිම පොරොන්දුවක් ඉටු කරන්න ආණ්ඩුව සමත් වෙලා නෑ. අවුරුද්දක් කියන්නේ පහෙන් එකක්. පහෙන් එකක් මුකුත්ම නොවී ගතවුණාම විපක්ෂය නිදාගෙන ඉන්නවා නම් කල් වැඩියි. නොවෙයි. හොඳටම පරක්කුයි.
ආණ්ඩුව පැත්තෙන් කියැවෙන දේ තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සන්ධානගත වෙන්න යන්නේ චෞර කප්පිත්තන්ට තක්කඩියන් කියලා?
ඒකට මම දෙයාකාරයකින් උත්තර දෙන්නම්. මුලින්ම හොරුන්ගේ එකතුවක් කිව්වම බහාලුම් 323 පන්නන්න මැදිහත් වුණා යැයි කියන බිමල් රත්නායක අපේ එකතුව තුළ නෑ. ඒ වගේ විවිධ වංචා කළ බවට චෝදනා නැඟුණු වසන්ත සමරසිංහ , විජිත හේරත් මෙතැන නෑ. ඒ වගේම සහස් දනව් විදුලි බලාගාරය හරහා වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ල වුණු කුමාර ජයකොඩි මෙතැන නෑ. ඒ විදියට ආණ්ඩුවේ නම් ලැයිස්තුවම මෙතැනදී කියන්න පුළුවන්. එහෙම නම්, හොරුන්ගේ එකමුතුවක් නම් ඒ අයත් මෙතැන ඉන්න ඕනෑ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ‘‘හොරු අල්ලනවට බයේ හොරු එකතු වෙනවා’’ කියලා
ඔව් එහෙම කිව්වා. ඒ ප්‍රකාශය ජනාධිපතිවරයා වගේම මැති ඇමැතිවරුත් කියනවා. ඒ ප්‍රකාශය තරම් අධිකරණයට අපහාස කෙරෙන තවත් ප්‍රකාශයක් නෑ. මොකක්ද මේ කියන්නේ? අපි නුගේගොඩට විශාල සෙනඟක් ගෙනාවම ඒකට බයවෙලා.
‘‘නඩු කාරයෝ වැරදිකරුවන් නිදහස් කරනවා’’ කියන එක. අධිකරණයට අපහාස කිරීමේ පනතේ ඉතා පැහැදිලිවම කියනවා, අධිකරණයට ඇති ගරුත්වයට හා පිළිගැනීමට හානියක් කෙරෙන ප්‍රකාශයක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. මතක තියාගන්න ජනාධිපතිතුමනි ! මුක්තිය නැති වෙච්චදාට ඔබත් වැලිකඩ තමා.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇයි නුගේගොඩට එන්නේ නැත්තේ?
ඇත්තෙන්ම අපි ‘‘මහජන හඬ’’ ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේදී එහෙම දීර්ඝ කාලයක සාකච්ඡාවක ප්‍රතිඵලක් වශයෙන් තමයි නුගේගොඩ රැලිය සංවිධානය වුණේ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කළාම සමගි ජනබලවේගය නියෝජනය කරන්න කබීර් හෂීම්, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා කියන මන්ත්‍රීවරුන් නම් කළා.
අපි සාමූහිකව තමයි තීරණය කළේ නුගේගොඩ රැස්වීමක් කරන්න. ඒ තීන්දුව සජබයටත් දැනුම් දුන්නා. සජබයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණයක් අරගෙන තියෙනවා රැස්වීමට එන්නේ නෑ කියලා.
හේතුව?
ඒක තවම නිශ්චිත නෑ. හැබැයි අපි ඒ තීන්දුවට ගරු කරනවා. සහභාගී නොවන කිසිම කෙනෙකුට අපි චෝදනා කරන්නේ නෑ. දොස් කියන්නේ නෑ. මොකද අපි දන්නවා මේ අය අද එකතු නොවුණත් අනාගතයේදී එන මේ මහා ප්‍රවාහයට සැබෑ ආණ්ඩු විරෝධීන් එකතු වෙනවා කියලා. ඒගොල්ලන් එකතුවීමට ඉඩ තියෙනවා නම් අද සහභාගී නොවීම ප්‍රශ්නයක් කරගත යුතු නෑ.
ලෝකයේ දේශපාලන උපාය මාර්ගයන්හි විශිෂ්ටයෙකු වූ මහත්මා ගාන්ධි අලුත් ව්‍යාපාර සම්බන්ධයෙන් මෙහෙම කියලා තියෙනවා’’ ඔබ අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්නා විට අන් අය ඔබව ගණන් නොගනීවි. දෙවැනුව ඔබට සරදම් කරාවි. තුන් වැනුව ඔබව විවේචනය කරාවි. හතර වැනුව ඔබට අපහාස කරාවි. පස්වැනුව ඔබට බාධා කරාවි. හැබැයි ඒ හය තැනකදීම ඔබ නොසැලී සහ අධිෂ්ඨානයෙන් කටයුතු කළොත් ඒ සියලුම දෙනා අවසානයේදී ඔබ සමග එකතු වේවි.
අපි ඒ මහත්මා ගාන්ධිගේ දර්ශනය විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒ අය අනාගතයේදී අපිත් එක්ක එකතු වේවි කියලා බලාගෙන ඉන්නවා.
ඔබ විශ්වාසවන්ත දේශපාලන ගමන් සගයා අද ඔබත් එක්ක නෑ.
මහජන හඬ සංවිධානයේ පුරෝගාමී නායකයෙක් තමයි විමල් වීරවංශ මහත්මයා. නුගේගොඩ රැස්වීම ගැන තීන්දුව ගත්ත සභාවෙත් එතුමා හිටියා. නමුත් අවසානයේදී ජාතික නිදහස් පෙරමුණ සහභාගී නොවීමට තීරණය කරලා තියෙනවා. සජබෙ ගැන කිව්වා වගේම ඔවුහුත් අපිත් එක්ක අනාගතයේදී එකතු වේවි.
දේශපාලන කාරණා සම්බන්ධයෙන් එකඟතාවක් නැතිව මෙහෙම සන්ධානගතවීම අවස්ථාවාදී රංචු ගැහීමක්.
මම ඒකයි කිව්වේ දේශපාලන එකඟතාවක් අපි ඇතිකර ගත යුත්තේ ආණ්ඩුවක් හදන්න යන වෙලාවකදී එතැනදී පොදු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලන දැවැන්තයන්ට මේවා තේරුම් කරලා දෙන්න අවශ්‍ය නෑ.
ඒ නායකයන් දෙදෙනා තරම් පරිණත නායකයන් වෙන කිසිම පක්ෂයක නෑ. අපිත් එක්ක ඉන්න පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ආණ්ඩුවක් හදන්න යන සන්ධානයකට හොඳ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන එක ඒ නායකයන් දෙදෙනා අවුරුදු හැට හැත්තෑවක් තිස්සේ දන්න දෙයක්.
මෙතැන අප ආණ්ඩුවක් හදන්න යනවා නොවෙයි. ආණ්ඩුවේ බොරුවට භීෂණයට, දූෂණයට එරෙහිවයි අපි එකතු වෙන්නේ. ඒකට ප්‍රතිපත්තිමය එකඟතාවක් තියෙන්න ඕනෑද? අපි ඉන්නේ තාම එහෙම පොදු තැනක. මෙතැනට අවශ්‍ය වන්නේ එකඟවීමේ උවමනාව පමණයි. දිගු ගමන ඇරැඹෙන්නේ ඊට පසුවයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

