රුසියාවෙන් තෙල් ගන්න වැඩ පිළිවෙලට ආණ්ඩුව හිතා මතාම කල් මරනවා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක

ජයන්ත සමරවීර

 

රට තවමත් ​ තෙලෙන් බැඳෙමින් තිබේ. මෙම ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ඇති බවත් ප්‍රකාශ විය. එම ව්‍යාපෘතියට මොකද වුණේ ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි. 


?රුසියාවෙන් තෙල් ගේනවා කියලා විමල් වීරවංශ කිව්වා. කෝ තෙල් නැව්?


පිළිතුර:- ඔබ මතුකරන ප්‍රශ්නයට කෙටිම පිළිතුරක් දුන්නොත් ආණ්ඩුව ඒ වැඩපිළිවෙළ හිතාමතාම කල් මරණ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. 


?ඇයි ඒ විමල් වීරවංශ මැදිහත් වෙච්ච නිසා ද? 


පිළිතුර:- එහෙම නොවෙයි. රටේ අර්බුදය විසඳීමේ වුවමනාවක් ආණ්ඩුවට තියෙනවද? කියන එකයි ප්‍රශ්නය. මේ තෙල් අර්බුදය ජනාධිපතිවරයෙක් ගෙදර යවපු, අගමැතිවරයෙක් ගෙදර යවපු තුන් වතාවක් ආණ්ඩුව වෙනස් කරපු අර්බුදයක්. විනිමය ප්‍රශ්නය ආවා. ඒ මත ඉන්ධන ප්‍රශ්නය ආවා. මේ ප්‍රශ්නය විසඳගත්තොත් රටේ සමස්ත අර්බුදයෙන් සියයට 50 ක් විසඳන්න පුළුවන්. අපි ඒක දැක්කා. ඒ නිසාම අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට යෝජනා කළා ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රුසියාවේ සහාය ලබා ගන්න කියලා. 


?ඇයි රුසියාව තෝරා ගත්තේ? 


පිළිතුර:- යුක්රේනයේ ඇතිවී තිබෙන යුද තත්ත්වය නිසා රුසියාවේ විශාල තෙල් අතිරික්තයක් තියෙනවා. රුසියාව කියන්නේ ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයෙක්. රුසියාව නව වෙළෙඳපොළවල් හොයමින් ඉන්නේ තමන්ගේ තෙල් ටික අළෙවි කරගන්න. ඔවුන් ආසියාව තමන්ගේ වෙළෙඳපොළ බවට පත් කරගෙන තියෙනවා. ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන පිරිපහදු කරලා අලෙවි කරනවා. ඒ නිසා තමයි අපි කිව්වේ අපට රුසියාවෙන් තෙල් ලබා ගැනීමේ විභවයක් තියෙනවා. ඒ විභවය ප්‍රයෝජනයට ගනිමින් අපේ රටේ ඉන්ධන අර්බුදය විසඳගමු කියලා. 

මේ අර්බුදයෙන් රට ගලවාගන්න ඕනෑ නිසා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රට සම්බන්ධයෙන් ඇති බැඳීම හා වගකීම නිසා අපේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරලා අපි මේ සම්බන්ධයෙන් හොයලා බැලුවා. ඒ අනුව අපේ ජාත්‍යන්තර මිත්‍රයෙක් හරහා රුසියාවේ තියෙන ප්‍රමුඛතම ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ඉන්තුම් හෝල්ඩින්ස් කියන සමාගම සමග කතා කළා. ඔවුන් අපට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන්න එකඟතාව පළ කළා.


?ගෝඨාභයගේ ප්‍රතිචාරය වුණේ? 


පිළිතුර:- එයට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඊට පස්සේ බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී කිව්වා ‘ඔබලාට තෙල් ගෙන්වන්න සමාගම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. 


?ඒක බරපතළ අභියෝගයක්? 


පිළිතුර:- වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රී ලංකාවේ රුසියාවේ තානාපති කාර්යාලයට ගිහින් මේ යෝජනාව ඉදිරිපත් කළා. තානාපති කාර්යාලය ඉතාම සුබවාදීව කිව්වා ‘ඔබේ ජනාධිපතිවරයාට කියන්න මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. ඔබේ රටේ ඛනිජ තෙල් ඇමැතිවරයාට කියන්න රුසියාව තෙල් ඇමැතිවරයාගෙන් මේ ඉල්ලීම කරන්න’ කියලා. ඒ විදියට ඔවුන් අපට පාරක් පෙන්නුවා. නමුත් ඒක මැනවින් ප්‍රයෝජනයට ගත්තා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. 


?නමුත් ඔබලා රුසියානු තෙල් සමාගමකට කතා කළා කියලා වාර්තා වුණා? 


පිළිතුර:- ඔව්. අපට මේ සම්බන්ධයෙන් තියෙන කැක්කුම නිසා මේ අර්බුදයෙන් රට ගලවාගන්න ඕනෑ නිසා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රට සම්බන්ධයෙන් ඇති බැඳීම හා වගකීම නිසා අපේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරලා අපි මේ සම්බන්ධයෙන් හොයලා බැලුවා. ඒ අනුව අපේ ජාත්‍යන්තර මිත්‍රයෙක් හරහා රුසියාවේ තියෙන ප්‍රමුඛතම ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ඉන්තුම් හෝල්ඩින්ස් කියන සමාගම සමග කතා කළා. ඔවුන් අපට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන්න එකඟතාව පළ කළා. 


?ලෝක වෙ​ෙළඳපොළේ පවතින මිලට වඩා සියයට 15 - 30 අතර අඩු මිලකට ඉන්ධන දෙන්නත් එම සමාගම සූදානම් කියලා පුවත් පළවුණා? 


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම. ඒ අනුව අපි එම සමාගමට කිව්වා ‘අපේ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන්නම්. ඒ අනුව ඔබේ එකඟතාව අපට දෙන්න’ කියලා. අපේ පක්ෂයේ විමල් වීරවංශ සහෝදරයාට ඒ ඉන්තුම් සමාගම ලිපියක් එවලා තිබුණා. ‘ඔබේ රටේ ඉන්ධන ප්‍රශ්නයට අපි සහයෝගය දක්වන්න සූදානම්. ජනාධිපතිවරයා හා අදාළ අංශ සමග සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන්න’ කියලා. ඒ අනුව ජූනි මාසෙ 7 වැනිදා සවස 3.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවක් ලබා දුන්නා. ඉන්තුම් සමාගමේ සභාපතිවරයත් එහි ප්‍රධාන විධායක නිලධාරියාත් ලංකාවට ඇවිත් ඒ සාකච්ඡාවට සහභාගි වුණා. 


?සාකච්ඡාව සාර්ථකයි? 


පිළිතුර:- ඔව්. ඒක බො​හොම ඵලදායි සාකච්ඡාවක්. ජනාධිපතිතුමාගේ එකඟතාවය ලැබුණා. එදාම හවස 5.30 ට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරිතුමා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඉන්තුම් සමාගමේ සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරිතුමා’ පැය විසිහතරක කාලයක් දෙන්න. අපි කොහොමද ඔබට තෙල් ලබා දෙන්නේ ඒ වාර්තාව දෙන්න’ කියලා කිව්වා. ඊට පහුවදාම ඔවුන් අපට තෙල් ලබාදෙන ආකාරය පැහැදිලි කළා. 


?කොහොමද ඔවුන් අපට තෙල් දෙන්නේ? 


පිළිතුර:- ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා සියයට 15 ත් 30 ත් අතර අඩුවට ඔවුන් අපට තෙල් දෙන්න එකඟ වුණ. මාසෙකට ඩොලර් මිලියන 300 ක තෙල් ලබා දීමට හැකි බව කිව්වා. අවුරුදු දෙකක ණය පහසුකම් දිය හැකි බව කිව්වා. 


?ඒ වෙනුවට ඔවුන් ඉල්ලුවේ මොනවද? 


පිළිතුර:- ඔවුන් ඉල්ලුවේ මහ බැංකුවේ ඇපකරයක් පමණයි. ඔවුන් කිව්වා අපේ එකඟතාව තිබෙනවා නම් ඔවුන්ගෙන් අවබෝධතා ගිවිසුම එවන්නම්. ඔබ ඒක අත්සන් කරලා ඒක නැවත එවන්න කියලා. 10 වැනිදා ඔවුන් රුසියාව බලා පිටත් වුණා. 12 වැනිදා අවබෝධතා ගිවිසුම එවලා තිබුණා. 


?ඒක අත්සන් කරලා යැව්වද? 


පිළිතුර:- 12 වැනිදා සිට තාම අපේ රට ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කරලා නෑ. 


?ඔබ කියලා තිබුණා ‘තෙල් සංස්ථාවේ කොමිස් කාක්කෝ මේකට බාධා කරනවා’ කියලා. 


පිළිතුර:- ඔව් අපි මේ ගැන හොයලා බැලුවා. ඒ අනුව තමයි අපට තොරතුරු තියෙන්නේ ඛණිජ තෙල් සංස්ථාව ලංකාවට තෙල් සැපයීමේ දී විශාල කොමිස් හුවමාරුවීමක් වෙනවා කියලා. කර්මාන්තයක් හැටියට කොමිස් ගන්නවා. ඒ කොමිස් කර්මාන්තයේ නියැළෙන නිලධාරීන් කිහිප දෙනෙක් හිතා මතා මේ ව්‍යාපෘතිය පස්සට අදිමින් ඉන්නවා. ඒ සම්බන්ධ විවේචනය අපි මාධ්‍යය හරහා රටට ඉදිරිපත් කළා. 


?ඒ නිලධාරීන් කවුද? ඔබ නම් ගම් දන්නවා ඇති? 


පිළිතුර:- කිහිප දෙනෙකු ගැන අපි දන්නවා. අපි දන්න බව ඔවුනුත් දන්නවා. ඉදිරියේදී හරියටම තොරතුරු ලබාගෙන ඒ නිලධාරීන්ගේ නම් ගම් පැටිකිරියත් එක්ක රටට අනාවරණය කරන්න අපි සූදානම්. 


?ආණ්ඩුව පැත්තෙන් කියැවෙනවා ‘ඔය ඔබ කියන ඉන්තුම් සමාගමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා? 


පිළිතුර:- දැන් බලන්න. ඒ සමාගමේ නීත්‍යානුකූල භාවය හොයාගන්න එහෙම අමාරු නෑ. රුසියානු තානාපති කාර්යාලයෙන් විමසන්න පුළුවන්. අන්තර්ජාලයෙන් මේක හොයාගන්න පුළුවන්. අවශ්‍ය නම් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් දැනගන්න පුළුවන්. පැය භාගයක වැඩක් තියෙන්නේ. අනික අපි ඒ සමාගමට ණය දෙනවා නොවෙයි. ඒ සමාගම අපට අවුරුදු දෙකක සහන කාලයක් සමග ණයට තෙල් දෙනවා. එහෙම නම් ඒ සමාගමයි අපි ගැන හොයන්න ඕනැ. අපි කරන්නේ අපට ණය දෙන ආයතනයේ පැටිකිරිය හොයනවා. 
මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට බලශක්ති ඇමැතිතුමාට කිව්වේ නැද්ද? 
පිළිතුර:- අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා මේ පිළිබඳව දැනුවත් කරලා කිව්වා. ඇමැතිතුමා සමගත් කතා කළා. දැන් අපට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. අපි කිව්වා ඛණිජ තෙල් සංස්ථාවට මේක කරන්න බැරිනම්, ඒ අය බාධා කරනවා නම් කැබිනට් එකට මේ ව්‍යාපෘතිය ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන අමාත්‍යාංශයෙ ලේකම්වරයට පවරලා මේ කාර්ය ඉතාම ඉක්මනට අවසන් කරන්න කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්