රාජපක්ෂලා ඔක්කොම වැඩකාරයො නොවෙයි වැඩකාරයා මහින්ද රාජපක්ෂයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

නාමල් රාජපක්ෂ

  • අපි කවදාවත්  පවුල කේන්ද්‍ර කරගෙන දේශපාලන තීන්දු ගත්තේ නෑ

 රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ලෙස හැඳින්වුණු ඔහු අද අමාත්‍ය ධුර අහිමිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටී. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසානයි යනුවෙන් අරගල බිමෙන් ඇසෙද්දී ඔහුගේ දේශපාලන අනාගතය ගැන ඔහු තබා ඇති තක්සේරුව කුමක්ද? මේ සියල්ල විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ සංවාදයකි.   

ප්‍රශ්නය -රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ඔබ? මම හරිද?   

පිළිතුර:- මගේ මතයට අනුව අද ලෝකයේ ඔටුන්න හිමි කුමාරවරු නෑ. එහෙම හිතන් හිටපු යුගයක් තිබ්බා. ඒ මගේ පොඩි කාලෙදි. ආසියාතික රටවල එහෙම දෙයක් තිබුණා. නමුත් අද ලෝකය වෙනස්. දේශපාලනය තුළ කෙනෙකුට යම් දෙයක් ගොඩ නගා ගන්න අවශ්‍යනම් පළමුවෙන්ම තමන් දරන දේශපාලන මතය විශ්වාස කරන්න ඕනෑ. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. ඒ වගේම තමන්ගේ දේශපාලන පක්ෂය රකින්න ඕනෑ. ඒ තුළ ජනතාව විනිශ්චය දේවි. එහෙම නැතිව තාත්තාගෙන් පුතාට උරුමය ලැබිය යුතුයි කියන දෙය අද ලෝකය තුළ නැහැ. තමන්ගේ දක්ෂතාවයෙන් තමයි ඉදිරියට ඇවිත් තියෙන්නේ.   


ප්‍රශ්නය -ඔබේ පියා මහින්ද රාජපක්ෂ ගත් හැම තීන්දුවකම අවසන් ඉලක්කය ඔබ ජනාධිපති කරවීම. ප්‍රශ්නවලට ඒක ලොකු හේතුවක් වුණා?   

පිළිතුර:- ඕක ඔය විපක්ෂය ගොඩනගන කාරණයක්. විපක්ෂය එහෙම හිතාගෙන ඇති. නමුත් දේශපාලනය කියන්නේ එහෙම ගමනක් නොවෙයි. අපි කවදාවත් සන්ධානගත වෙන්න නොහිතපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අපි සන්ධාන ගත වුණා. මගේ පියාගේ මුළු දේශපාලන ජීවිතයේ ප්‍රතිවාදියා වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාව තමන් නි​යෝජනය කරන දේශපාලන කඳවුරේ නායකයා බවට පත් කරලා රටේ ජනාධිපති කළා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න.  ඔහුගේ ප්‍රතිවිරුද්ධ කඳවුර ඔහුව නායකයා බවට පත් කළා. දේශපාලනයේ යථාර්ථය ඒක.   


ප්‍රශ්නය -රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්නෙම රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට. ඒ හැරෙන්න එතැන වෙන යථාර්ථයක් නෑ.   

පිළිතුර:- අපට එහෙම ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවක් තිබ්බා නම් අපට පවුලේ කෙනෙක්ව ජනාධිපති කරවන්න තිබුණා. පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ අපට. අනික් කාරණයනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරවීමේ තීන්දුව අපි ගත්තේ ඉතාමත් ප්‍රායෝගික හේතු මත. 

 
ප්‍රශ්නය -මොනවද ඒ ප්‍රායෝගික හේතු?   

පිළිතුර:- අපේ ජනාධිපතිවරයා අයින් වුණා. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරාගන්න සිදු වුණා. එතැනදි අපට තිබුණ විකල්පය කුමක්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමා ඉදිරිපත් වෙනවා කියලා. පක්ෂයෙන් ඩලස් අලහප්පෙරුම මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එකතුවෙලා ඉදිරිපත් වුණා. අනික් පැත්තෙන් අනුර කුමාර මහත්තය ඉදිරිපත් වුණා. මැයි 9 වැනිදා සිදුවීමත් සමග අපේ පාක්ෂිකයන්ට වැඩියෙන් ගැහුවේ අරගලය කියන සංකල්පය පිටිපස්සේ වැඩියෙන් හිටිය ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගයයි. අපේ පාක්ෂිකයාට ගහලා බේරේ වැවට දාපු අය ජනාධිපති කරන්න අපි උත්සාහ කරනවද? එහෙම නැත්නම් මේ වෙලාවේ පරිණතභාවයක් තියෙන කාලාන්තරයක් පුරා දේශපාලනයේ ඉන්න ඒ වගේම පාර්ලිමේන්තුව තුළ අරගලයට විරුද්ධව කතා කරපු කෙනා ජනාධිපති කරනවද? ඕකනේ තෝරා ගන්න තිබුණේ. අනික් පැත්තෙන් ඔය සජිත් ඇතුළු ඔය හතර දෙනාම ගත්තොත් මේ ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් නායකයා හැටියට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා ප්‍රායෝගිකව ඒ වෙලාවේ ​තෝරා ගත හැකි හොඳම කෙනාව අපි තෝරා ගත්තා.   


ප්‍රශ්නය -පොහොට්ටුවේ නොවන දෙන්නෙක් තමයි අද රටේ ජනාධිපති හා අගමැති. පොහොට්ටුවේ කෙනෙක්ව නොදැම්මේ අනාගතයේදී එය ඔබට තර්ජනයක් විය හැකි නිසයි?   

පිළිතුර:- ඒ වෙලාවේ අපට ගත හැකි හොඳම තීන්දුව අපි ගත්තේ. දේශපාලන පක්ෂයක් හැටියට අපි රාජ්‍ය බලය ගන්න ඕනෑ. ඒක ඕනෑම දේශපාලන පක්ෂයක අවසන් අරමුණ. ඒ වගේම දේශපාලන පක්ෂයක් හැටියට අපි තීන්දු කරන්න ඕනෑ අවස්ථානුකූලව මුහුණ දෙන්න පුළුවන් හොඳම සන්ධානය මොකද්ද කියලා. අපි දැක්කා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 දි පරාජය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය කෙනෙක් තමයි අපේක්ෂකයා වශයෙන් තෝරා ගත්තේ. ඊට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න සරත් ෆොන්සේකා මැතිතුමා තෝරා ගත්තා. ඒ අය හිතුවා තමන්ගෙ ප්‍රතිවාදයට එරෙහිව දැමිය යුතු හොඳම තුරුම්පුව එයා කියලා. ඒ නිසා මේ මොහොතේ අපි පක්ෂයක් හැටියට තීන්දු කළා. රටේ දැවැන්ත කැරැල්ලක් තියෙන වෙලාවේ ආර්ථිකය බිඳ වැටිලා සමාජය බිඳ වැටිලා තියෙන වෙලාවක 69 ලක්ෂයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එපා කියනවනම් ඊළඟට අපට තිබුණ හොඳම විකල්පය තමයි අපි තෝරා ගත්තේ.   


ප්‍රශ්නය -අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලන කොට ත්‍රිවිධ හමුදාව පොලිසිය මොකද ක​ළේ? ඔබ හිතනවද එතැන කුමන්ත්‍රණයක් තිබුණා කියලා.   

පිළිතුර:- මම දකින ප්‍රධානම කාරණය තමයි දේශපාලන පරිණතභාවය පිළිබඳව අපි යම් තක්සේරුවක් ගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳ දර්ශනයක් තිබුණා. හොඳ වැඩපිළිවෙළක් තිබුණා. ඒ දර්ශනය සහ වැඩපිළිවෙළ දේශපාලනය තුළ කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියන එක ගැන අර්බුදයක් මුල ඉඳලම තිබුණා. ඒ වගේම අපි දකිනවා ප්‍රතිවාදීන් එය ලස්සනට ගොඩනැගුවා. උදාහරණයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. විපක්ෂයේ පළමු වැනි කැම්පේන් එක තමයි ‘මල්ලිට වැඩ කරන්න දීල මහින්ද අයියා දැන් පැත්තකට විය යුතුයි’ කියන එක. මහින්ද රාජපක්ෂ තමයි දේශපාලන කඳවුර. දේශපාලන බලය. දේශපාලන දැක්ම හා දේශපාලන දැක්ම. ඒ දේශපාලන දැක්ම තියෙන නායකයා කඳවුරෙන් අයින් කිරීම තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනික වශයෙන් තනි වුණා. බොහෝ කාරණාවලදි ඒ දේශපාලන වශයෙන් තීන්දු තීරණ ගන්න බැරිවුණේ ඒ තනිවීම තුළ. ප්‍රතිවාදීන් ඒ කැම්පේන් එක මැතිවරණයෙන් පසුවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළ මොහොතේ සිට ඊළඟ මැතිවරණයට සූදානම් වුණා.   


ප්‍රශ්නය -අරගලය පිටිපස්සේ තානාපති කාර්යාල සී අයි ඒ එක රෝ එක හිටියා කියලා කියනවා. පවුලේ කෙනෙක් විදියට ඔබ ඒක දකින්නේ කොහොමද?   

පිළිතුර:- අපි දැක්කා මේ වගේ කැරළි ලෝකයේ මීට පෙර ඇතිවෙලා තියෙනවා. මැද පෙරදිග රටවල මේ වගේ තත්ත්වයක් අැති වුණා. ඒ හැම සිදුවීමක් පිටිපස්සෙම දේශපාලන හස්තයක් තිබුණා. අවංකව සද්භාවයෙන් ඔය කැරැලිවලට යන බොහෝ දෙනෙකුට ඒ දේශපාලන හස්තය පේන්නේ නෑ. ඒ දේශපාලන හස්ත මෙහෙයවන අයත් ඉන්නවා. ඒ නිසා කෙනෙකුට තර්කානුකූලව කියන්න පුළුවන් ඒ කාලයේ මාධ්‍යයේ ගිය ඒවා දිහා බැලුවම අපි දැක්කා අරගලයේ හිටපු බොහෝ පිරිස් තානාපතිවරුන් හමුවුණා. හැබැයි ඒ තානාපතිවරු ආණ්ඩු පක්ෂයේ අය හමුවුණේ නෑ. ඒ නිසා සාධාරණ සැකයක් අැතිවෙන්න පුළුවන්. ඊට පසු ආණ්ඩුව අස්ථාවර කරන්න වැඩ කරන පිරිස් මුණ ගැහෙන තානාපතිවරුන් ඇයි ආණ්ඩුවේ පිරිස් මුණගැහෙන්නේ නැත්තේ කියලා.   


ප්‍රශ්නය -ගාලු මුවදොර පිටියට පහර දීපු වෙලාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ‘‘මේක සහෝදරවරුන්ගේ ප්‍රශ්නයක්. අත දාන්න එපා’’ කියලා උසස් පොලිස් නිලධාරීන්ට කිව්වා කියලා වාර්තා වුණා? මේ ගැටුම පවුලේ අර්බුදයක්?   

පිළිතුර:- පවුලේ අර්බුදයක් නම් ඒක මුළු පවුලටම විරුද්ධව යන්න විදියක් නෑනේ. එක පැත්තකින් අරගලය තුළ ‘‘ගෝඨා ගෝ හෝම්’’ පාඨය ජනාධිපතිවරණයෙන් පස්සෙ අාව එකක් නොවෙයිනේ. ඒක ආවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න කලින් ආව එකක්. ඒක වර්ධනය කරගෙන තමයි මෙතැනට ආවේ. ඒ වගේම අපි කිසිදාක පවුල කේන්ද්‍ර කරගෙන දේශපාලන තීන්දු ගත්තේ නෑ. ඒක පැහැදිලිව කියන්න ඕනෑ. 2015 දි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ඔය චෝදනාව කළා. ‘‘පවුල එකට වාඩිවෙලා තමයි තීන්දු ගත්තේ’’ කියලා කිව්වා. අද අපි එක්ක නැතත් ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඔය චෝදනාව ප්‍රතික්ෂේප කළා. අපේ පවුලේ අර්බුදයක් නෑ. අපේ පවුලේ දේශපාලන මතවාද තියෙනවා. හැබැයි ඒ මතවාද රාජ්‍ය පාලනයත් එක්ක පටලවා ගන්නේ නෑ. අපි සියලු දෙනාම හිටියෙ එක ආණ්ඩුවක නම් අපි නියෝජනය කරන්නේ එක දේශපාලන පක්ෂයක් නම් පක්ෂයෙ ප්‍රතිපත්ති වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. 

 
ප්‍රශ්නය -ගෝඨාභයව ගේන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. නමුත් අන්තිමට ඔහුට ඔහුගේ ආරක්ෂාවත් සලසා ගන්න බැරි වුණා. ඔහු ඒ තරම්ම දුර්වල වුණේ කොහොමද?   

පිළිතුර:- ඒකට හේතුව එතුමා දේශපාලනිකව ඈත්වීම. ඒක අපි පිළිගන්න ඕනෑ කාරණයක්. එතුමත් ඒක පිළිගන්නවා. එතුමා රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිලධාරීන් සමග ඒ ඒ කාරණා ඉටු කරන්න පුළුවන් කියලා විශ්වාස කළා. මට තියෙන ප්‍රශ්නය ඊට හාත්පසින්ම වෙනස්. මම කියන්නේ අරගලකරුවන් ඉල්ලපු හැම දෙයක්ම ගෝඨාභය ජනාධිපතිතුමා ළඟ තිබුණා. අරගලකරුවෝ කිව්වා ‘රාජ්‍ය ඇමැතිවරුන්ගේ ආරක්ෂාව අයින් කරන්න’ කියලා. එතුමා ඒක කළා. ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අයින් කළා. අපි බයෙන් හිටියේ එතුමා මිරිහානේ ඉඳල ජනාධිපති ලේකම් කාර්යාලයට පයින් එයි කියලා. ඒ තැනට ගියා. තනි වාහනෙන් ගියේ. පෞද්ගලික ගෙදර හිටියේ. ඒ පෞද්ගලික ගෙදරට ගහලා තමයි එතුමාව රජ ගෙදරට යැව්වේ. වියදම් කපා හරින්න පුළුවන් හැම දෙයක්ම කළා. ස්ටාෆ් එක අඩු කළා. ආරක්ෂකයෝ ටික අයින් කළා. ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩලය අයින් කළා. ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්ට ලියුම් අත්සන් කිරීමට තිබුණ බලය අයින් කළා. ඉස්සර අරගල කරපු අය කිව්වේ වස කවනවා කියලනේ. අරගලයේ මුහුණ දිහා බැලුවම පේනවනේ රසායනික පොහොර තහනම් කරන්න කියලා කියපු අයනේ හිටියේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානේ රසායනික පොහොර තහනම් කරලා ගොවීන් තරහා කර ගත්තේ. අරගලයේ හිටපු අයගේ මතවාදයනේ එතුමා නියෝජනය කළේ. එතුමා ගත් බොහෝ තීන්දු තීරණ අරගලයේ දරුවන්ගේ මානසිකත්වයට බොහොම සමපාතයි. මට තියෙන ප්‍රශ්නය ඇයි එහෙම මනුස්සයෙක්ව එලෙව්වේ කියලයි. අරගලකරුවෝ කිව්වෙත් දේශපාලනඥයන්ගෙන් තොර පාලනයක් බිහි කරන්න කියලනේ. එතුමා හිටියෙත් ඒ ස්ථාවරයෙනේ.   


ප්‍රශ්නය -ඔය නිසාමනේ ඒ කාලෙදිම විමල් වීරවංශ කිව්වේ ‘ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා නොවීම මේ ගැටලුවලට හේතුව’ කියලා.   

 පිළිතුර:- දේශපාලනය නොදැන පක්ෂයේ නායකයා වෙලා හරියන්නේ නෑනේ. පොදුජන පෙරමුණේ නායකයා වෙනවා නම් එතුමා පොදුජන පෙරමුණේ දේශපාලනය කරන්න ඕනෑ. දේශපාලනය නොකරන කෙනෙක් පක්ෂයක නායකයා වෙන්න බෑනේ. එතුමා හිතනවා නම් දේශපාලකයෝ ඈත් වෙලා ඉන්න ඕනැ, නිලධාරීන් තමයි මේක අතට ගන්න ඕනැ කියලා එහෙම කෙනෙක් පක්ෂයෙ නායකයා වුණොත් පක්ෂය දියවෙලා යනවනේ. 

 
ප්‍රශ්නය -ඔබේ බාප්පා බැසිල් රාජපක්ෂ නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර සමගිය බිඳ වැටුණා කියලා ඔබ හිතන්නේ නැද්ද?   
 

පිළිතුර:- මම ඒක පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. ඕනෑම පක්ෂයක පිපිරීම් ඇතිවෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය පුපුරලා ගියේ. සජබෙ පුපුරලා ගියේ. මෑත දේශපාලන ඉතිහාසය තුළ වැඩිම පිපිරීමට ලක්වුණේ ජනතා විමුක්ති පෙරමුණ. පෙරටුගාමීන් කඩාගෙන එළියට ගියා. අද ජවිපෙ ඇයි ජාතික ජනබලවේගය හැටියට එළියට එන්නේ. ලිබරල්වාදී අදහස නියෝජනය කරන්න ඕනෑ නිසයි එහෙම එන්නේ. ඒක නිසාම ජවිපෙ ඇතුළේ තවත් පිපිරීමක් වීමට නියමිතයි. තමන්ගේ දේශපාලන මතවාදයෙන් පිට තියෙන මතවාදයක් වැලඳ ගැනීම තුළ ජවිපෙ බර නැතිවෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ තමන් විශ්වාස කරන මතය ආරක්ෂා කරන්න ඕනෑ අපි ඔක්කොම මිනිස්සුනේ. එක එක්කෙනාට නායකත්වය පිළිබඳ අපේක්ෂා ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතිවෙනවා නම් ඒක පිපිරීමකට වඩා ඔවුන්ට අයිතියක් තියෙනවා දේශපාලන තීන්දුවක් ගන්න. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් වලංගුයි.   


ප්‍රශ්නය -ඔබේ පක්ෂය ඉතාම කෙටි කාලයකින් විචිත්‍ර ජයග්‍රහණ අත්පත් කරගත්තා. ඒ වේගයෙන්ම අද හාන්සි වෙලා. මොකද වුණේ?   

 

 පිළිතුර:- කොවිඩ් වසංගතය ලොකු බලපෑමක් වුණා. ඒක තුළ සමාජය බිඳ වැටුණා. අපට පුරුදු සාම්ප්‍රදායික දේශපාලන ගමනෙන් අයින් වෙන්න වුණානේ. කාර්යාලවලට යන එක ශාඛා සමිති කැඳවන එක මළගෙදර මඟුල් ගෙදර යන එක නතර වුණානේ. කවුරු අරගල කළත් තමන්ගේ මරණෙට මඟුලට තමන්ගේ නායකයා එයි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවනේ. ඒක අපෙන් ඈත් වුනාණේ. කොවිඩ් එකත් එක්ක සිදුවෙච්ච එම දුරස්වීම දැඩිව බලපෑවා. මේක ලෝක වසංගතයක්. ඒකත් එක්ක මිත්‍රශීලි රටවලින් අපට ලැබුණු සහයෝගය නතර වුණා. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒකත් එක්ක ආර්ථික අර්බුදය ඇතිවුණා. මම කැබිනට් එකේදිත් කිව්වා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම මේකට අවශ්‍ය මාර්කටින් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ කියලා. එන්නේ මෙහෙයුමක්. ඒකට ප්‍රති මෙහෙයුමක් එන්න ඕනෑ කියලා.   


ප්‍රශ්නය -ජනාධිපති ගෝඨාභය මොකක්ද කිව්වේ?   

පිළිතුර:- එතුමා ඒක පිළිගත්තා. ඒ වෙලාවෙම ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි කමිටුව දැම්මේ තීන්දුවක් ගන්න. ඒක වුණේ නෑ.   


ප්‍රශ්නය -2015 දී මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට ප්‍රධාන හේතුවක් වුණේ පවුල් පාලනය. හැබැයි මේ පාරත් කැබිනට් එක සාටකවලින් වැහුණා.?   
 

පිළිතුර:- නිතරම අපි ඒ ගැන සාකච්ඡා කළා. එතැනදී ප්‍රායෝගිකව ගත්තොත් බැසිල් රාජපක්ෂ මැතිතුමා හැර අනික් රාජපක්ෂලා මහජන ඡන්දයෙන් ආව අය. පහුගිය යහපාලන ආණ්ඩුවේ නෝනයි මහත්තයයි එක කැබිනට් එකේ හිටියා. දුව ජනාධිපති, අම්මා අගමැති වෙලා හිටියා. එතකොට ඒවා පවුල් පාලනය නොවේ. පවුල් පාලනය කියන චෝදනාව අලුත් එකක් නොවේ. 2015 ට පෙර ඉඳලම ආපු චෝදනාවක්. නමුත් ගොඩක් දෙනෙකුට අමතක වෙලා තියෙනවා මෙතැන රාජපක්ෂ කියන නම නොවෙයි චරිතය. මහින්ද රාජපක්ෂ කියන නම තමයි මෙතැන චරිතය. සමහරු හිතනවා රාජපක්ෂ රාජපක්ෂ කියලා කිව්වම ඔක්කොම රාජපක්ෂලා එකයි කියලා. ඇත්ත වශයෙන්ම රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක ආවේ මහින්ද රාජපක්ෂ නිසා. ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු ගමනේ මහින්ද රාජපක්ෂ තමයි චරිතය. මහින්ද කෑල්ල අයින් කරලා රාජපක්ෂ නම ගත්තාම ඒ ‘අවුට් පුට්’ එක එන්නේ නෑ. ඒක තමයි අපේ පක්ෂයටත් වැරැදිච්ච තැන. අපේ අයත් හිතුවා ‘රාජපක්ෂලා තමයි වැඩකාරයෝ’ කියලා. රාජපක්ෂලා නොවෙයි මහින්ද රාජපක්ෂ තමයි වැඩකාරයා. එතුමා තමයි බ්‍රෑන්ඩ් එක. ඔය පවුල් පාලනය කියලා චෝදනා කරපු අරගලයේ ළමයින්ටත් මම කිව්වේ ‘ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ මැතිවරණයේදී හම්බන්තොටට එන්න. ඇවිල්ලා මාව පරදවන්න. නැත්නම් ඔවුන් කැමැති දිස්ත්‍රික්කයක් නම් කරන්න මම ඇවිත් ඉල්ලන්නම් කියලා.   


ප්‍රශ්නය -හැම කැබිනට් සංශෝධනයකදීම ඔබට මොකක් හරි කෑල්ලක් එල්ලනවා. ඔබ අප්සෙට් වුණේ නැද්ද? ඔබට හිතුනේ නැද්ද? ඒක මට හරි නෑ’ කියලා.   

 පිළිතුර:- ඇත්තටම ඒ වෙලාවේ මට ඒ ගැන ගැටලුවක් තිබ්බා. මම ඒ ගැන ජනාධිපතිතුමාටත් කිව්වා. නමුත් සමහර නිලධාරීන්ගේ මතය වුණේ ඒ වෙලාව තුළ ඒ කැපවීම හා කාලය වැය කළ හැක්කේ මටයි කියලා. ඒ නිසයි එහෙම වුණේ. එකට පෑහෙන අංශ තමයි මට ලැබුණේ. නමුත් මම හිතනවා ඒක එහෙම නොවුණා නම් හොඳයි කියලා.   


ප්‍රශ්නය -ජනාධිපති බාප්පා නිසා ඔබේ දේශපාලන අනාගතය විශාල අභියෝගයකට ලක්වුණා?   

 පිළිතුර:- මම එහෙම හිතන්නේ නෑ. තරුණ කෙනෙක් දේශපාලනය කරනවා නම් තවත් කෙනෙක් අභියෝගයක් හැටියට දකින්න හොඳ නෑ. තමන්ගේ උපරිමයෙන් තමයි ඉදිරියට ආ යුත්තේ.   


ප්‍රශ්නය -රාජපක්ෂවරුන්ගේ දේශපාලන ගමන ඉවරයි කියලා කියනවා ඔබට ඇහිලා නැද්ද?   

 පිළිතුර:- ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ කතාව තමයි අපේ ජයග්‍රහණයට සාධක වෙන්නේ. 2015 දීත් ඔහොම කිව්වා. නඩු ගොතලා අපිව හිරේ දැම්මා. මාව තුන් පාරක් හිරේ දැම්මා. නමුත් ජනතාව අපිව විශ්වාස කරනවා. තමන් ඉවර කරගත්තොත් මිසක් තවත් කෙනෙකුට ඉවර කරන්න බෑ.   


ප්‍රශ්නය -දේශපාලනය නොකළත් හොරා කාපු මහජන ධනය තියෙන නිසා රාජපක්ෂවරුන්ට ප්‍රශ්නයක් නෑ?   

 පිළිතුර:- ඔය චෝදනාව 2005 ඉඳලම කියනවා. 2005 අපේ ජයග්‍රහණයට ජවිපෙ අපට ගොඩක් උදව් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අයින් කළාම ජවිපෙ සහෝදරවරුන් තමයි ආරක්ෂාව දුන්නේ. වේදිකාවල කතා කළේ. ඒ ජවිපෙම පහුගිය කාලෙදි අපෙන් ඈත්වෙලා 2010 වෙනකොට කතාව ආයෙමත් පටන් ගත්තා. අපට ‘හොරා’ කියන්න පටන් ගත්තා. යහපාලන ආණ්ඩුවක් ආවා. අපේ හංගපු සල්ලි හොයන්න කියලා ඩුබායිවලටත් ගියා. ඩුබායි. මැරියට් හෝටලය මගේ නොවෙයි කියලත් හොයාගත්තා. වර්තමාන ජනාධිපති තමයි එදා අගමැතිතුමා. එතුමා කියනවා ‘කිසිම සාක්ෂියක් නෑ කියලා පරික්ෂණවලින් අනාවරණය වුණා කියලා. ඩොලර් බිලියන 18 ක් කරේ තියාගෙන යනවා දැක්කා කිව්වා ‘එදා හිටපු කැබිනට් ඇමැතිවරයෙක්. ඒ අයත් දැන් කියනවා ‘එහෙම දෙයක් නෑ’ කිව්වා. නාමල් රාජපක්ෂ ලැම්බෝගිනි 16 ක් ගෙනාව කිව්ව අනුර කුමාර දිසානායක දැන් කියනවා ‘එයා එහෙම කතාවක් කිව්වෙවත් නෑ’ කියලා. චෝදනා නැගුවා. නමුත් ඒක දේශපාලනික ප්‍රහාරයක් පමණයි. 

 
ප්‍රශ්නය -ඉන්ධන ගෙන ඒම ජාවාරමක් කරගත්තේ ඔබයි.? 

 
 පිළිතුර:- ඒකත් එහෙම තමයි. පුළුවන් නම් ඔප්පු කරන්න කියන්න?   


ප්‍රශ්නය -ඔබ ඇමැතිවරයෙක් වෙනවා. එක මල්ලි කෙනෙක් රොකට් අරිනවා. අනික් මල්ලි නාවික හමුදාවේ හොඳම නිලධාරියා වෙනවා. රගර් කණ්ඩායම තිබුණේ රාජපක්ෂ පුතුන් අතේ. මේ රටේ අනික් තරුණයන්ට නොලැබෙන දේවල් ඔබලා බලය පාවිච්චි කරලා අත්පත් කරගත්තා?   

 පිළිතුර:- මම ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක වැඩට ගියා. අදටත් පුළුවන් නුවරට ගිහිල්ලා මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක බලන්න. එතැන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ඒ ආයතනයෙන් අහන්න පුළුවන්. ඊළඟ මල්ලි තීරණය කළා හමුදාවට යන්න. එහෙම නැත්නම් අපේ තාත්තටත් තිබුණ අනික් අයගේ ළමයි වගේ පිටරට යවන්න. ඉතිහාසයෙම ජනාධිපතිවරුන්ගේ දරුවන්ගෙන් අපි විතරනේ මේ රටේ හිටියේ.   


ප්‍රශ්නය -යුද ජයග්‍රහණයත් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ හදවතේ නායකයා වුණේ. නමුත් අරගලයත් සමග මහින්ද රාජපක්ෂට දරුණු අවලාද ප්‍රහාරයකට ලක්වෙන්න වුණා. පුතා හැටියට ඔබට ඒ අත්දැකීම දැනෙන්නේ කොහොමද? ඔබේ පියා ඒක විඳ දරාගන්නේ කොහොමද?   


 පිළිතුර:- ඒක ඉතින් මේ ​දේශපාලනයෙ හැටි. අද ඊයේ නෙවෙයි එම දේශපාලනයට ආපු පළමු දවසෙම තාත්තා මට කිව්වේ ‘අද අත්පුඩි ගහන අයම තමයි හෙට ගල් ගහන්නේ. ඒක දරාගන්න පුළුවන් නම් විතරක් දේශපාලනය කරන්න. එහෙම බැරිනම් දේශපාලනය කරන්න එපා.’ කියලා. 2016 මහ මැතිවරණයට මං ඉදිරිපත් වෙච්ච වෙලාවේ එතුමා එතකොට යුද්ධය ජයග්‍රහණය කරලා එතුමා පරිණතයි. ඒ වගේම එතුමා ශක්තිමත් ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව එතුමාට තියෙනවා.

 

සාකච්ඡා කළේ   
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්