රාජපක්ෂ විරෝධයක් රටේ තියනව කියන එක ඇත්ත


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී 

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක

  • ප්‍රජාතන්ත්‍රවාදයට මම කැමති නෑ මම කැමැති ආඥාදායකත්වයට 
  • අරගලයෙන් අපි සුන්නත්දූලි වෙලා ගියානෙ. හැබැයි ඒ දූවිලිමතින් අපි නැගිටිමින් ඉන්නෙ.   

 

ගෝල්ෆේස් එකට මිනිස්සු ආපු වෙලාවෙ මම ජනාධිපතිතුමාව හම්බ වෙලා එතුමට කිව්වා ෂැංග්‍රිලා හෝටලය එතන හැදුවෙ ගෝල්ෆේස් පිට්ටනියයි කොළඹ වරායයි කොළඹ නගරයයි නිසා කියලා. පෝට් සිටිය හැදුවෙත් මේ දේවල් තියෙන නිසා ගෝල්ෆේස් පිට්ටනිය අසූචි ගොඩක් කළොත් කොළඹට ආයෝජකයො එයි කියලා හිතනව ද කියලා මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ඒ නිසා මේ අයව එළවලා දාන්න කියලා මම කිව්වා. නෑ ඔය මිනිස්සු පැත්තකට වෙලා හිටපු දෙන් කියලා එවෙලෙ එතුමා කිව්වා. මෙතනට ජේවීපී එකට එන්න බැරි වුණා. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අය කූඩාරම් ගහන් හිටියා. අන්තවාදී කතෝලික හා මුස්ලිම් අයත් ඇවිත් හිටියා

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට රට පාලනය කිරීම සඳහා හොඳ කණ්ඩායමක් අවශ්‍ය බවය. ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කීප දෙනකු ඇමති ධුරවල දිවුරුම් දෙන බවද ඔහු කීවේය. මේ ඒ ගැන ඔහු සමග කළ සාකච්ඡාවකි. 

?ඔබ ඊයේ පෙරේදා දවසක කියලා තිබුණා ජනාධිපතිවරයට රට පාලනය කරන්න හොඳ ටීම් එකක් ඕනෑ කියලා. කවද්ද ඇමති ධුරයක දිවුරුම් දෙන්නෙ ?   


මම දන්නෙ නෑ ඒවා. මම ඒවා අහන්න යන්නෙත් නෑ. ඇමතිකම් පස්සෙ යන්න මට වුවමනාවක් නෑ.   


?ඒ වුණාට ඔබ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ළඟදීම ඇමැති ධුර ලැබෙන බවටත් කතාවක් යනවා. ඒක ඇත්තක්ද?  


ඒක මම හරියට කියන්න දන්නේ නෑ. එහෙම යෝජනාවක් අපේ පක්ෂයෙන් කරල තියෙනවා. ඒ වුණාට ඒකට මොකද වෙන්නේ කියන්න දන්නෙ නෑ.  


?දහ දෙනෙක්ගෙ නම් ලිස්ට් එකක් ගැනත් කියවුණා. කවුද ඒකෙ ඉන්නෙ?  


එක එක්කෙනා ඉන්නවා. ඒවා පත්තරේ කියන එක හරි නෑ.  


?ඇමැති මණ්ඩල සංශෝධනය සිදුවෙන දවසක් තවම තීරණය කරලත් නැද්ද?  


ඉක්මනින් කරනවා කියලයි ආරංචිය.  


?ජනාධිපතිවරයට හොඳ ටීම් එකක් ඕන කියලා කිව්වේ දැන් ඉන්න අයට වැඩ කරන්න බැරිද?  


එහෙම නෙවෙයි. මේ ඇමැති මණ්ඩලය තාවකාලිකව පත්කරපු එකක්නෙ. ඒ අයගේ අත්දැකීම් පළපුරුද්ද උගත්කම බලලා පත්කරපු ඇමැති මණ්ඩලයක් නෙවෙයිනෙ මේක. අරගල සමයේ එහෙන් මෙහෙන් අමුණපු එකක්නෙ.  


?අරගලයෙන් වැඩිපුරම ප්‍රතික්ෂේප වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ව. ඒ අයට නැවත ඇමැතිකම් දීලා මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් තියෙනවද?  


ඔව්. අත්දැකීම් සුදුසුකම් දැන උගත්කම තියෙන අය ඇමැති මණ්ඩලයේ ඉන්නවා නම් හොඳයි.  


?මහා ඡන්දෙකට යන සූදානමක් එහෙමත් තියෙනවද?  


නියමිත කාලෙදි යයි.  


?අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වුවොත් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ඒකට සූදානම් ද?   


අපි සූදානම්. අපි ගම් මට්ටමේ රැස්වීම් තියාගෙන යනවා. මොකද මේ වෙලාවේ එක ඡන්ද අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 20 කියනවනෙ. දැනටම ඒ වගේ සියක් ගුණයක් විතර ජනතා විමුක්ති පෙරමුණ වියදම් කරලා තියෙනවා. පනස් ගුණයක් විතර සමගි ජන බලවේගය වියදම් කරලා තියෙනවා. ඒ කට්ටිය ලොකු රැස්වීම් තියාගෙන යනවා. නමුත් අපි එහෙම වියදම් කරන්නෙ නෑ.   


?ඔබලා රැස්වීම් නොතියන්නෙ ඒවට මිනිස්සු එන්නෙ නැති නිසා ද? අරගලය වේලාවේ මේ පක්ෂෙට මොකද වුණේ කියලා කවුරුත් දැක්ක.   


අපෝ එනවා. අරගලයෙන් අපි සුන්නත් දූලි වෙලා ගියානෙ. හැබැයි ඒ දූවිලි මතින් අපි නැගිටිමින් ඉන්නෙ. ඒ නිසා අපි ගම්වලට ගියාම මිනිස්සු එනවා ඒ මිනිස්සුන්ට අපි ගැන දුකකුත් තියෙනවා.  


?හැබැයි පක්ෂයේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් නම් කියන්නෙ ඡන්දෙ තිබ්බොත් පොහොට්ටුවට ලැබෙන්නෙ සීයට 8 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි කියලා. ඒ ගැන මොකද හිතෙන්නෙ ?   


මම එතුමව ගුරු තත්ත්වයෙන් සලකන මහාචාර්යතුමෙක්. මම එතුමට කිව්වා මේ ඡන්දෙදී සමගි ජන බලවේගයයි අපේ පක්ෂයයි අතර කරට කර සටනක් තියෙනවා කියලා. ඒ ළඟටම ජේවීපී එකත් එනවා. හැබැයි නැත්තටම නැතිවෙන කණ්ඩායමක් ඉන්නවා ඒ ඔබතුමාලා කියලා මම එතුමට කිව්වා. ඒකට මම උදාහරණයකුත් කිව්වා. එතන ඩලස් එහෙමත් හිටියා. 1977 මහා මැතිවරණය පැවැත්වෙන වේලාවේ මම හිටියෙ රුසියාවේ මොස්කව් නුවර විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින්. දවසක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මට පණිවුඩයක් එවලා තිබුණා ඇවිත් එයාව හම්බ වෙන්න කියලා. මම ගිහින් එතුමව හම්බ වුණාට පස්සෙ මට කිව්වා ලංකාවට ගිහින් වාමාංශික එක්සත් පෙරමුණෙන් හඟුරන්කෙතට තරග කරන්න කියලා. ඊට පස්සෙ මම හඟුරන්කෙතට ආවා. ඒ වේලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක්ට ගම්වලට එන්න ඉඩ දුන්නෙ නෑ. නමුත් වාමාංශික එක්සත් පෙරමුණෙන් තරග කරපු අපේක්ෂකයන්ව පෙරහරෙන් අරන් ගියේ. පුදුමාකාර විදියට අපිට රටේ රැල්ලක් තිබුණා. නමුත් ඡන්ද ප්‍රතිඵල එද්දී අපි සියලුම දෙනා පරාදයි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, එන්.එම්. පෙරේරා ටී.බී. සුබසිංහ මේ සියලුම දෙනා පරාදයි. මාත් ඇතුළුව අපේ හුඟ දෙනෙක්ට ඇපත් නැති වුණා. මට ලැබුණෙ ඡන්ද 422 යි. ජයම්පති වික්‍රමරත්නට ලැබුණෙ ඡන්ද 240 යි. නන්ද එල්ලාවල, සරත් මුත්තෙට්ටුවගම, වාසුදේව නානායක්කාර මේ අයත් පරාදයි. හැබැයි ඒ මැතිවරණයේ දී අපිට ලැබුණු ඡන්දයි ශ්‍රී ලංකා එකට ලැබුණු ඡන්දයි එකතු කළහම හුඟක් ආසන දිනන්න ඉඩ තිබුණෙ යූඇන්පීය නෙවෙයි ශ්‍රීලනිපය.   


1971 ජේවීපී කැරැල්ල නිසා රටේ ආර්ථිකය දශම දෙකට කඩා වැටුණා. ඒ වගේම 1972 -78 කාලයේ මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. ලෝක සමාජවාදී කඳවුරේ කඩාවැටීමක් ඇති වුණා. ඒ වේලාවෙ මැතිනිය ආසියාවේ ලොකුම යූරියා ෆැක්ටරිය හැදුවා. සීනි කර්මාන්තශාලා තුනකුත් හැදුවා. වානේ කර්මාන්තශාලාව හැදුවා. ටයර් කර්මාන්තශාලාව හැදුවා. කඩදාසි කර්මාන්තශාලා තුනක් හැදුවා. ඒ වගේම පාරවල් නොතිබුණු හැම ගම්මානයකටම එදා පාරවල් කැපුවා.   


?ඇයි ඔය අතීත කතා මතක් කරන්නෙ?   


මම මේ අතීත කතාව මතක් කරන්නෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කඩාගෙන ගිය පිරිසට වෙන ආනිසංස ගැන කියන්න. එච්චර වැඩ කරපු මැතිනියගෙන් වම කැඩිලා වෙන් වුණා.

කැඩුණෙ නැත්නම් අපි 1977 මැතිවරණය දිනනවා. මේ අයත් කරලා තියෙන්නෙ ඒකම නෙවෙයි ද?  


?ඔබ ඔහොම කිව්වාට අපි දැක්කා අරගලය වේලාවෙ වැඩිපුරම විවේචනයට ලක්වුණෙත් නිවාස ගිනි තැබීම්වලට ලක් වුණෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔබ නියෝජනය කරන කණ්ඩායම. එහෙම බලද්දී මිනිස්සුන්ගෙ වෛරය තියෙන්නෙ ඔබලගෙ කණ්ඩායම සමග නෙවෙයි ද?   


මම හිතන්නෙ නෑ. මිනිස්සු බොහොම ආදරයෙන් ගම්වලදී අපිව පිළිගන්නවා. එහෙම වෛර කරපු පිරිසක් හිටියා. ඒ ජනතා විමුක්ති පෙරමුණ.   


?ඔබ කියන්නෙ මැති ඇමැතිවරුන්ගෙ නිවාස ගිනි තැබීම් පිටුපස හිටියෙ ජවිපෙ කියල ද?   


ඔව් ඒ සියල්ල පසුපස. සමහර තැන්වල පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ වුණා. සීයට 90 ක් විතර මේ දේවල් කළේ ජවිපෙ. ඒ අය ඕකම 1971 දීත් කළා. 1987 -89 කලබල කාලේ ජවිපෙ ඉස්සෙල්ලාම මැරුවෙ ජවිපෙ ​​ජ්‍යෙෂ්ඨයන්ට දේශපාලනය උගන්නපු වාස් තිලකරත්නව. දෙවැනි වෙඩිල්ල තිබ්බෙ නන්දන මාරසිංහට. විජේවීර යාපනය බන්ධනාගාරයේ ඉන්දැද්දී ඔහුව බේරගන්න ගිය කණ්ඩායමේ නායකයා තමයි නන්දන මාරසිංහ. විජේවීර සහෝදරයා හිරෙන් එළියට ඇවිත් නන්දන මාරසිංහ අතේ මට පණිවුඩයක් එව්වා ඇවිත් එයාව හම්බ වෙන්න කියලා. මම ඒ වෙද්දී විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්. අපි හම්බ වුණේ කොටහේන පැත්තෙ තිබුණු ලී වෙළෙඳසැලක දී. විජේවීර එතන කාමරයක් වෙන් කරලා තිබුණා. ඒ ව්‍යාපාරය අයිති කෙනාගෙ පුතා පස්සෙ ජවිපෙන් කොළඹ මහ නගර සභාවටත් තේරුණා. නමුත් දෙවැනි කැරැල්ල වේලාවේ ජවිපෙ තුන්වැනියට වෙඩි තිබ්බෙ එයාට.   


?ඔබ කියන විදියට ඔය නිවාස ගිනි තැබීම් පසුපස හිටියෙ ජවිපෙ නම් රටේ හතර දිග්භාගයෙන්ම මහජනයා වැළ නොකැඩී අරගලයට ආවේ ඇයි ?   


ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ අරගලයට සම්බන්ධ වෙන්න ජවිපෙට හැකියාවක් ලැබුණෙ නෑ. ජේවීපි සාමාජිකයන් එතනට ගියාම ඒ අයට ගුටි කන්න සිද්ධ වුණා. යූඇන්පීයෙ අයත් එතනට ගිහින් ගුටි කාලා තමයි ආවෙ. රාජිත සේනාරත්නත් ගුටි කෑවා. දැන් අපේ ආණ්ඩුවේ ඇමතිවරු වෙලා ඉන්න හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඒ දෙන්නත් ගුටි කාලා ආවේ. අපි ගියෙ නෑ. ඒ වේලාවේ අරගලයෙ බලය අල්ලන් හිටියෙ පෙරටුගාමීන්. මට ඕන කරලා තිබ්බෙ ඒ සියලු දෙනාවම එළවලා දාන්න. වෙඩි තියලා හරි එළවලා දාන්නයි මට ඕනකම තිබුණෙ.   


?ඒ වේලාවේ ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දුන්න උපදෙස් මොනව ද?   


ගෝල්ෆේස් එකට මිනිස්සු ආපු වෙලාවෙ මම ජනාධිපතිතුමාව හම්බ වෙලා එතුමට කිව්වා ෂැංග්‍රිලා හෝටලය එතන හැදුවෙ ගෝල්ෆේස් පිට්ටනියයි කොළඹ වරායයි කොළඹ නගරයයි නිසා කියලා. පෝට් සිටිය හැදුවෙත් මේ දේවල් තියෙන නිසා ගෝල්ෆේස් පිට්ටනිය අසූචි ගොඩක් කළොත් කොළඹට ආයෝජකයො එයි කියලා හිතනව ද කියලා මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ඒ නිසා මේ අයව එළවලා දාන්න කියලා මම කිව්වා. නෑ ඔය මිනිස්සු පැත්තකට වෙලා හිටපු දෙන් කියලා එවෙලෙ එතුමා කිව්වා. මෙතනට ජේවීපී එකට එන්න බැරි වුණා. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අය කූඩාරම් ගහන් හිටියා. අන්තවාදී කතෝලික හා මුස්ලිම් අයත් ඇවිත් හිටියා. ඒ අය මෙතන පදිංචි වෙලා හිටියෙ. ලංකාව අරාජික කරන්න අරඅඳින ප්‍රධානම පිරිස තමයි ඇමෙරිකාව හා බටහිර යුරෝපය. ඒ අය ඒක කරන්නෙ ලංකාවත් එක්ක තරහ නිසා නෙවෙයි චීනයත් එක්ක තරහට. චීනයේ තීරයක් මාවතක් වැඩසටහන වට්ටන්න නම් ලංකාවට ගහලා ලංකාව අරාජික කරන එක බටහිරයන්ගෙ උපක්‍රමයක්. ඒ අයගෙ මුදල් ආවා. ඒ නිසා එතන ජේවීපියට කරන්න දෙයක් තිබුණෙ නෑ. එතන කරගන්න බැරි වෙච්ච දේ ගෙවල් ගිනි තියලා රට පුරා කළා.   


?පක්ෂයේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්ව ඉවත් කරනවා. හැබැයි ඔහු කියන්නෙ ඒ බව ඔහුට දැන්වූවේවත් නෑ කියලා. ඒක ඇත්ත ද?   


වෙන්න ඇති. එතුමා දැන් පක්ෂ කාර්යාලයට යන්නෙ නෑනෙ. පක්ෂයත් එක්ක සම්බන්ධයකුත් නෑනෙ.   


?දැන් කවුද පක්ෂෙ සභාපති එතකොට? 

 
තාම පත් කරලා නෑ. නමුත් මහින්ද රාජපක්ෂව නායකත්වයට පත් කරලා තියෙනවා.   


?රාජපක්ෂලා තමයි රටේ ජනතාවගේ වැඩිමනත් ගැරහුමට ලක් වුණේ. රාජපක්ෂලා ඉස්සරහට දාගෙන මේ පක්ෂයට ගමනක් තියෙයි කියලා හිතනවද?   


මේ පක්ෂය හැදුවෙ බැසිල් රාජපක්ෂනෙ. අදත් මේ පක්ෂෙ නඩත්තු කරන්නෙ එයා. අරගලය වේලාවේ ගෙවල් ගිනි තැබීම්වලට ලක් වුණු අයට තාවකාලිකව ගෙවල් අරන් දුන්නෙ බැසිල් රාජපක්ෂ. මේ පක්ෂය ඇතුළෙ රාජපක්ෂ උරුමය ඉතාම ඉහළින් තියෙනවා. හැබැයි රාජපක්ෂ විරෝධයක් රටේ තියෙනවයි කියන එක ඇත්ත. මම ඒක නෑ කියන්නෙ නෑ. එහෙම මහා විරෝධයක් තිබුණ නිසානෙ එජාපයේ රනිල් වික්‍රමසිංහට කොළඹ දිස්ත්‍රික්කයේ එක ආසනයක් ගන්න බැරුව මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණේ. ඒ වේලාවේ ඔහුව ජනාධිපති කරන්න අපි ගත්ත තීන්දුව හරි. 

 
?ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඡන්දය කල්දාලා නෑ කල්දාන්න ඡන්දයක් නෑ කියලා. එතුමා ඒ කළේ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය හෑල්ලුවට ලක් කිරීමක් නෙවෙයිද? ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන දේශපාලනඥයෙක් හැටියට ඒ ගැන මොකද හිතෙන්නෙ?   


ප්‍රජාතන්ත්‍රවාදයට මම කැමති නෑ. මම කැමති ආඥාදායකත්වයට. මම ගෝඨාභය දිහා බැලුවෙත් ලී ක්වාන් යූ කෙනෙක්හරි ඩෙන් ෂියෝපින්ග් කෙනෙක් හරි හදාගන්න. මට ඕනකම තිබුණෙ මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් හදාගන්න නෙවෙයි.   


?ඔබ කියන්නෙත් ඡන්ද ඕන නෑ කියලද?   


ඡන්ද තියනවද? නැද්ද? කියන එක මට වැදගත් නෑ. ඉන්ධන නැතුව අපි පෝලිම්වල හිටියා. දොස්තරවරු ඉංජිනේරුවරු පවා හිටියා. ඒ තැනට රටේ ආර්ථිකය කඩා වැට්ටුවනෙ.   
ඒකට වග කිව යුත්තෙ මේ දේශපාලන පන්තිය නෙවෙයිද? මිනිස්සුන්ගෙ චෝදනාවත් ඒකමයි.   


මිනිස්සු චෝදනා කරන්නෙ එහෙමනෙ. ලංකාවේ ආර්ථිකය කඩා වැට්ටුවෙ පොදු ජන පෙරමුණවත් රාජපක්ෂවරුවත් නෙවෙයි. 2015 දී රට මෛත්‍රීට දෙන කොට රටේ ආර්ථික සංවර්ධන වේගය සියයට 7.1 ක මට්ටමේ තිබුණා. ණය පොලි වාරික වසරකට ගෙවිය යුතුව තිබුණෙ ඩොලර් බිලියන 2ක් වගේ ප්‍රමාණයක්. ඔක්කොම විදේශ ණය තිබුණෙ ඩොලර් බිලියන 23 යි. සෛ්වරීත්ව බැඳුම්කර ණය තිබුණෙ ඩොලර් බිලියන 5 යි. 2019 දි ගෝඨාභයට ආණ්ඩුව බාර දෙද්දී 7.1 ක්ව තිබුණු ආර්ථික සංවර්ධනය සියයට 2.4 ට වැටිලා තිබුණෙ. ණය සේවා බිලියන 2 බිලියන 6 දක්වා වැඩි වෙලා තිබුණා. සෛ්වරීත්ව බැඳුම්කර ණය ඩොලර් බිලියන 15 දක්වා සීයට 200 න් වැඩි වෙලා තිබුණා. මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38.8 දක්වා වැඩි වෙලා තිබුණා.   


?ඔබ කියන්නෙ යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙහෙම වුණා කියල ද?   


ඒ කට්ටියගෙන් තමයි මේ ආර්ථිකය කඩන් වැටුණෙ. යුද්දෙට පැටලිලා හිටපු නිසා 2009 දිත් ආර්ථිකය ඔය විදියටම කඩා වැටිලා තිබුණෙ. ඒ කාලේ ලෝක ආර්ථිකයෙ මහා අවපාතයකුත් ඇති වුණා. ඒ වේලාවේ ලෝකයේ ආර්ථික වර්ධන වේගය සෘණ 1.3 දක්වා පසු බැස්සා. සංවර්ධිත රටවල් බොහොමයකත් ආර්ථික සෘණ වුණා. නමුත් ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක මට්ටමේ නැවතුණා. නමුත් 2010 වෙද්දී අපේ ආර්ථිකය සියයට 8 ක වර්ධන වේගයක් වාර්තා කළා. 2012 වෙද්දී ඒ අගය සියයට 9.1 ක් වුණා. ඒ වේලාවේ අපි දෙවැනි වුණේ චීනයට විතරයි. 2015 වෙද්දී රටේ ශක්තිමත් ආර්ථියක් තිබුණා. එහෙම තිබුණු රටක් තමයි යහපාලනයට බාර දුන්නෙ.   


?හැබැයි ඔය කාලයේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම මුදල් අමාත්‍යාංශය තිබුණෙ එජාප ඇමතිවරු යටතේ.   


රනිල්ගෙ මුදල් උපදේශක කාරක සභාව මෛත්‍රී විසි කරලා දැම්මා. රනිල්ගෙ මුදල් ඇමතිවරුන්වත් අයින් කරලා දැම්මා. ඒකට වගකියන්න ඕන විජේදාස රාජපක්ෂ. එයාගෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි ඕක වුණේ. රනිල්ටයි විජේදාසටයි එවෙලේ ඇත්තටම වුවමනා කරලා තිබුණෙ රනිල් ජේ.ආර්. කරලා මෛත්‍රීව ගොපල්ලව කරන්න. හැබැයි ඒකට උසාවිය ඉඩ දුන්නෙ නෑ. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරපු විකෘතිය නිසා තමයි ඒ තැනට රටේ ආර්ථිකය කඩා වැටුණේ. මාත් ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්නෙ. ඒ නිසා ඒකට මාත් වගකියන්න ඕනෑ.   


?මහින්ද රාජපක්ෂ අගමැති කරන බවටත් පහුගිය දවස්වල හා හූවක් ගියා. ඒක ඇත්ත ද?   


නෑ. ඒකෙ කිසිම ඇත්තක් නෑ. මහින්ද රාජපක්ෂටත් ඒ ගැන වුවමනාවක් නෑ. පක්ෂයට වුවමනාවකුත් නෑ. අපෙන් ගිය අය කීප දෙනෙක් තමයි ඔහොම එකක් කියාගෙන යන්නෙ.   


?ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය බරක් තියෙන රටට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවුරුදු 4 කට ලැබෙන ඩොලර් බිලියන 2.9 න් සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනව ද?   


නෑ. යහපාලන ආණ්ඩුවට වඩා අයිඑම්එෆ් එක රටේ ආර්ථිකය කඩා වැටීමට වගකියන්න ඕන. 2014 දී අයිඑම්එෆ් එක කියනවා ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි ඒක මුළු තුන්වන ලෝකයටම ආදර්ශයක් කියලා. යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙ ඒ ආයතනය රටේ පදිංචි වුණා. ඒ ආණ්ඩුවත් එක්කමයි හිටියෙ. ආණ්ඩුව ගෝඨාභයට දෙද්දී කිව්වා රටේ ආර්ථිකය භයානකයි කියලා. මුල ඉඳලම අයිඑම්එෆ් ලෝක බැංකුව වගේ ආයතන පාලනය කරන්නෙ ඇමෙරිකාව. ලෝක ඩොලර් සංචිතයේ අද අයිතිකාරයා චීනය. චීනය ඩොලර් ට්‍රිලියන 1.3 ක් ඇමෙරිකාවට ණය දීලා තියෙනවා. චීනයේ මාවතක් තීරයක් වැඩසටහන බකල් කරන්න නම් ලංකාවයි පකිස්තානයයි වට්ටන්න ඕනෑ. යහපාලන ආණ්ඩුව කාලේ ඇමෙරිකාව ඒක සාර්ථකව කළා.   


?දැනුත් මහ වෙනසක් නෑනෙ. අයිඑම්එෆ් එකත් එක්කමනෙ යන්නෙ?   


හරියටම හරි. ජනාධිපතිතුමා ඇමෙරිකාවේ දැක්මයි අයිඑම්එෆ් එකේ ගනුදෙනුවයි හොඳට තේරුම් අරගෙන කළ යුතු දේ එතුමා දන්නවා. වර්තමාන මහ බැංකු අධිපතිවරයයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයයි අයිඑම්එෆ් එකෙන් මෙහෙට ආවත් ඔවුන් ඉතා නිවැරදිව ආර්ථිකය මෙහෙයවමින් යනවා. තව කාරණයක් කියන්න ඕනෑ. පී.බී. ජයසුන්දර හා අජිත් නිවාඩ් කබ්රාලුත් ආර්ථිකය සෘණ කරන්නෙ නැතුව හරියට දක්කගෙන ගියා. තව අවුරුද්දක් ඒ අයට දීලා තිබුණා නම් ආර්ථිකය හරවනවා.   


?ඔබ කොහොම ද එහෙම කියන්නෙ. හෙජින් ගනුදෙනුව, ග්‍රීසියෙ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම වැනි ලංකා ආර්ථිකයේ අපකීර්තිමත් සිදුවීම් වුණේ ඔවුන් ධුරවල සිටින කාලේ ?   


හොඳ ප්‍රශ්නයක් ඇහුවෙ. ඒ ගනුදෙනු දෙකෙන් අපේ රටට පාඩු වුණා. එහෙම තමයි. කොටස් වෙළෙඳපොළට ගියාම අපිට ලාභ පාඩු දෙකම සිද්ධ වෙනවා. ඔය ගනුදෙනුවලින් අපිට ඩොලර් මිලියන හතර හමාරක් විතර පාඩු වුණා. හැබැයි ඔය මුළු කාලෙදී අපි ලාභ ලබලා තියෙනවා ඩොලර් මිලියන 34 ක්. ඒක ගැන අහන්නෙ නැත්තෙ ඇයි?   


?ඒ දෙන්නා හොඳට කළා නම් ඇයි ගෝඨාභයගේ පාලන කාලෙදී ආර්ථිකයට මෙහෙම නස්පැත්තියක් වුණේ?   


ගෝඨාභයට ඒක තේරුණෙ නෑ. ආර්ථිකය බිංදුවට වට්ටලයි ගෝඨාභයට ආණ්ඩුව බාර දුන්නෙ. ගෝඨාභය හරියට රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගෙන හිටියා නම් ඒ දෙන්නා ආර්ථිකය නිවැරදිව හසුරුවනවා.

   
?ඔබ කාලෙකදී එජාපයේ ප්‍රතිපත්තිය, රනිල් වික්‍රමසිංහව තදින් විවේචනය කළා. දැන් ඔහුගේ ප්‍රතිපත්ති එක්ක වැඩ කරන්න පුළුවන් ද?   


හැමදාම විවේචනය කළා. ඒ වුණාට මම 2000 දිත් එතුමා එක්ක වැඩ කළා. 2000 දී එතුමව අගමැති කරපු මෙහෙයුමේ ප්‍රධාන මිනිහා මම. ඒ වේලාවේ රටේ ආර්ථිකය සෘණ 1.4 ක් වුණා. ඒක වුණේ චන්ද්‍රිකා මැතිනියගෙ නොහැකියාව නිසා. පස්සෙ රනිල් වික්‍රමසිංහ ආර්ථික වර්ධනය ධන 4.6 කට ගෙනිච්චා.  

 

 

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ