රනිල්ට අධිකරණයේ දී මොකද වුණේ


එංගලන්තයේ  පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය 22 දා නියම කළාය.

ලන්ඩන් ‘වුල්වහැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකරු ඉදිරිපත් කළ ලිපිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පසුගිය මාස 03ක කාලය තුළ ඉදිරිපත් නොකිරීම මත එය පසුව නිර්මාණය කළ ලිපයික්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බවත් අදාළ සංචාරය පිළිබඳ ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ ලිපිය සළකා බැලීමේදී එම සංචාරය පෞද්ගලික සංචාරයක් බව සඳහන් කර ඇති බවත් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය නීතීය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සඳහන අනුව සැකකරු ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වීම සුවිශේෂි කරුණක් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බාරයට පත් කරමින්  සඳහන් කළාය”

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක මහතාට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ලන්ඩන් ‘වුල්වහැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකරු ඉදිරිපත් කළ ලිපියේ නිරවද්‍යතාව සම්බන්ධයෙන්ද විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

මෙය මහජන භාරකාරත්වය පිළිබඳ නඩුවක් බව පවසමින් සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව දැනුම් දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීමක් සිදු කළ අතර එහිදී ඔහු  සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළදී 2023.09.13වන දින සිට 20වන දින දක්වා කියුබාවේ හා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී ඉන් අනතුරුව 2023.09.22 හා 23 යන දිනවලදී නිල සංචාරයක් යැයි කියාපාමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුවී ඇති බවට 2025.03.17 වන දින වී. එස්. කරුණාරත්න නම් පුද්ගලයෙකු ජනාධිපතිවරයාට  පැමිණිල්ලක් කර ඇති බවය. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඇති කර ඉන් පසුව 2025.05.23 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. 

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 33න් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සැකකරුවකු ලෙස නම්කරමින් අත්අඩංගුවට ගත් බව දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

දිලීප පීරිස් මහතා සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික කරුණු පැහැදිලි කිරීම.

“ස්වාමීනි, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2023.09.13 සිට 20 දක්වා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක යෙදී තිබෙනවා. ඉන් අනතුරුව 22වන  දින එංගලන්තයේ වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවී තිබෙනවා. ඒ වික්‍රමසිංහ මැතිනියට ගෞරව උපාධියක් ලැබීමේ අවස්ථාවකටයි. මෙම ප්‍රශ්නගත සංචාරය සඳහා ජනාධිපති කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා. එහිදී දින දෙකක කාලයක් තුළ වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 166ක්. එහිදී එම මුදල ගෙවීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 133ක් සහ පොලිසිය සහා නාවික හමුදාව එක්ව රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් වශයෙනි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි 2023 අගෝස්තු 16 වනදා තමයි මෙම සංචාරයට අදාළ පළමු ලේඛනය අපට හමුවන්නේ. එහි සඳහන්වන්නේ මෙය පෞද්ගලික සංචාරයක් කියලා. නමුත් 9වැනි මස 7 වැනිදා වෙද්දි එකී පෞද්ගලික සංචාරය කියන එක නිකම්ම නිකන් විසිට් එකක් බවට පත්වෙනවා. මේ සංචාරය ගිහින් ආවට පස්සේ මෙම ලේඛනවල සඳහන් වෙන්නේ එය නිල සංචාරයක් කියලා. කවුද මේවා සංශෝධනය කළේ කියන එක බරපතළ ප්‍රශ්නයක්. අපි මෙම සැකකරුගේ එවකට පෞද්ගලික ලේකම්වරියව සිටි සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රශ්න කරපුවම ඇය කිව්වා, පළමුව තමන් සිතාගෙන සිටියේත් මෙය පුද්ගලික සංචාරයක් කියලා නමුත් පසුව ජනාධිපතිවරයා ලෙස සැකකරු කිව්වා එය පෞද්ගලික සංචාරයක් නොවේ කියලා. මේ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි, ඩුබායි, දෝහා වගේ රටවල්වලට යද්දි එක් දිනයක් විවේකීව ගතකරනවා, එම විවේකී දිනය ලෙස ලන්ඩනය තෝරාගෙන ඇති බව සිතා තමන් මුදල් අනුමත කළා කියලා.මෙම ප්‍රශ්නගත සංචාරයට සැකකරුට ආරාධනා ලැබී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින්. මෙය නිල සංචාරයක් බවට පත්වන්න නම් අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් මේ සඳහා ආරාධනාව ලැබිය යුතුය. ප්‍රශ්නගත සංචාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළාම ඔහු කියනවා නිල සහ පෞද්ගලික කියලා දෙවර්ගයක් නැහැ ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.“

සංචාරයේදී වියදම් සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන්ද කළ පැහැදිලි කිරීම. 

“ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක. එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්ව විද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා.මෙහිදී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 3ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුතන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නාවූ කාලය තුළයි. හරියටම කියනව නම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගෙන් සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඞ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිදු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිදු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තනියම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.“

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා  සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇති බැවින් ඇප ලබාදීමට ප්‍රබල ලෙස විරුද්ධවන බවද  සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම.

“ජනාධිපති ලේකම් කාර්යාලය කරපු අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ බව තහවුරු කරගත්තා කියලා පැමිණිල්ල කියනවා. නමුත් ස්වාමිනී ඔය සිදුවීමට අදාළව ජාතික විගණකාධිපති ඉදිරිපත් කරපු වාර්තාවක් මම ඔබේ අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවෙන් මේ කිසිවක් සනාථ වන්නේ නැහැ.අද මේ නඩුව දාන්න පුළුවන් වෙලා තියෙන්නෙත් සැකකරු ජනාධිපති වෙලා ඉද්දී ජනපති විනිර්මුක්තිය අහෝසි කරපු නිසා. නමුත් නඩු දාන්න වුණත් හේතුවක් තියෙන්න ඕනේ. මේක ද්වේශ සහගත ලෙස දාපු පදනම් විරහිත නඩුවක්. ස්වාමිනී එක එක කාලෙක  එක එක්කෙනාට කඩේ යන යූ ටියුබර් කෙනෙක් කියලා තිබ්බා දවස් දෙකක් ඇතුළත රනිල් මහත්තයා රිමාන්ඩ් කරනවා කියලා. කොහොමද එහෙම කියන්නේ?“

“ස්වාමීනී මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂ නිසා ස්වාමීනී මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂ කරුණක් ලෙස සලකන්න. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ හිටපු ජනාධිපති කෙනෙකුට විශේෂ ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මොහුට අනිද්දා දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන කොමන් වෙල්ත් යූත් කවුන්සිල් එකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න තියෙනවා. මේ සියලු‍ කරුණු සලකා බලා පොදු දේපළ පනත යටතේ වන සුවිශේෂ කරුණු සේ සලකා බලා මොහු ඇප මත මුදා හරින්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.“

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර මෙණෙවිය පැමිණිල්ලේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාගෙන් විමසා සිටියේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එම විගණන වාර්තාව පොදුවේ වර්ෂයකට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් වන අතර නිශ්චිත කරුණට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් නොවන බවය.

තමන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තරයේ සිදු කරන ලද විගණන වාර්තාවක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර