රට සම්පූර්ණයෙන්ම නන්නත්තාර වෙලා


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්   

  • දැන් පේනවනේ ඇමෙරිකාවේ ජන ගහණයෙන් සියයට 40 කට එන්නත් විදලා ඒ රට ඇරලා තියෙනවා. එංගලන්තය වගේම තවත් යුරෝපීය රටවල් එන්නත්කරණය කරලා රටවල් ක්‍රමානුකූලව විවෘත කරනවා. අපි මොකද් ද කළේ. එන්නත් ඕඩර් කළේත් නෑ. මාස්ක් ඕඩර් කළේත් නෑ. ඒවා කරන්නේ නැතිව කයිය ගහ ගහා ඉඳලා එක එක පැති පස්සේ දුවලා කළගෙඩි ගංගාවලට අත හැරලා මේ රට මිත්‍යාව රජ කරන රාජ්‍යයක් බවට පත්කරලා විද්‍යාව සම්පූර්ණයෙන්ම අමතක කිරීමේ පල විපාක තමයි මේ එන්නේ. 

 

 

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - රටේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද? 

 
පිළිතුර - අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. සම්පූර්ණයෙන්ම රට නන්නත්තාර වෙලා තියෙන්නේ. මහ ලොකුවට කයිය ගගහා ඉඳලා කොවිඩ් තුන්වැනි රැල්ල ඇවිල්ලා ඒකත් පාලනය කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ණය බරින් මිරිකිලා විදේශ සංචිත හිඳිලා ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. බඩු මිල දිනෙන් දින ඉහළ ගිහින් අද කොවිඩ් වලින් සමහර අය මිය යද්දී තව බොහෝ අය බඩගින්නේ මියයන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඊළඟට අද වැක්ෂින් එක නැතිව මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා රට ශාපලත් දේශයක් බවට පත්වෙලා ඉවරයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.   


ප්‍රශ්නය -මේක ලෝක වසංගතයක්. අද මේක මේ තත්ත්වයෙන් හරි පාලනය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව නිසා කියලා මම ඔබට යෝජනා කළොත්?   


පිළිතුර - ඔබතුමාගේ ප්‍රශ්නයම වැරැදියි. ලෝක වසංගතයක් ලෝකයේ අනෙකුත් රටවල් කළමනාකරලා තියෙන විදිය බලන්න. දැන් පේනවනේ ඇමෙරිකාවේ ජන ගහණයෙන් සියයට 40 කට එන්නත් විදලා ඒ රට ඇරලා තියෙනවා. එංගලන්තය වගේම තවත් යුරෝපීය රටවල් එන්නත්කරණය කරලා රටවල් ක්‍රමානුකූලව විවෘත කරනවා. අපි මොකද් ද කළේ. එන්නත් ඕඩර් කළේත් නෑ. මාස්ක් ඕඩර් කළේත් නෑ. ඒවා කරන්නේ නැතිව කයිය ගහ ගහා ඉඳලා එක එක පැති පස්සේ දුවලා කළගෙඩි ගංගාවලට අත හැරලා මේ රට මිත්‍යාව රජ කරන රාජ්‍යයක් බවට පත්කරලා විද්‍යාව සම්පූර්ණයෙන්ම අමතක කිරීමේ පල විපාක තමයි මේ එන්නේ. අනික් පැත්තෙන් මේක හරියට කළමනාකරණය කළා නම් කොහොමද තුන්වැනි රැල්ලක් එන්නේ. දැන් බලන්න ස්පුට්නික් දෙවැනි මාත්‍රාව නෑ. ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාවත් නෑ. අද රට සම්පූර්ණයෙන්ම අරාජික වෙලා තියෙන්නේ. දුර්වල කළමනාකරණය නිසා තමයි රට අරාජික වුණේ.   


ප්‍රශ්නය -ආණ්ඩුව මොකක් කළත් ඒක විපක්ෂය විවේචනය කරනවා. ඒක දැන් මෝස්තරයක් වෙලා.   


පිළිතුර - ඒක ඔබතුමා අහන්න ඕනෑ දැන් ආණ්ඩුවේ ඉන්න අයගෙන්. මොකද ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්න කාලේ තමයි එහෙම කළේ. අපිට එහෙම කරන්න ඕනෑ කමක් නෑ. අපි යෝජනා ඉදිරිපත් කළා. ඔබතුමාලට මතක ඇති කොවිඩ් පළමු රැල්ල ආපු වෙලාවෙම ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 65 සිට 17 ට අඩුවෙච්ච වෙලාවේ අපි යෝජනා කළා මුළු අවුරුද්දටම ඇණවුම් කරන්න. ගබඩා කරලා එහෙ තියලා මාසිකව හෝ කාර්තු වශයෙන් ගෙන්වන්න කියලා. එතකොට ඇමෙරිකන් ඩොලර් මිලියන 3.2 කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුළුවන් කියලා අපි පෙන්නුවා. ගිය අවුරුද්දේ ජනවාරි මාසයෙ මාස්ක් ගෙන්වන්න කිව්වම එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා කිව්වා. සංචාරක බුබුළු පටන්ගන්න හදනකොට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී අපට කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ එයාර්පෝර්ට් එකේ දී ඔක්කෝමලා පීසීආර් කරලා ගන්නේ කියලා. අපි විපක්ෂයක් විදියට රටේ ජනතාව ගැන කැක්කුමක් තියෙන නිසා තමයි සාධනීය යෝජනා අපි ඉදිරිපත් කළේ. මේ ආණ්ඩුවේ තියෙන ඔළමොට්ටලකම් හා තක්කඩිකම් හින්දා විපක්ෂයෙන් හොඳ යෝජනාවක් ආවම ඒක ක්‍රියාත්මක කරන්න මැලිවෙනවා. හැබැයි කල් ගිහිල්ලා අවසානයේ කරන්නේ විපක්ෂය කියන දේ තමයි. ඒක හරි වෙලාවේ ක්‍රියාත්මක කළා නම් මේ අර්බුදයෙන් අපට ගොඩ එන්න තිබුණා මීට වඩා හොඳ ප්‍රවණතාවයකින්.   


ප්‍රශ්නය -ආණ්ඩුව මේ මොහොතේ දිළිඳු ජනයාට රුපියල් පන්දහසේ දීමනාව දෙනවා. ඒක හොඳ නැද්ද?   


පිළිතුර - දිළිඳු ජනතාවට රට ලොක්ඩවුන් කළාම දෛනික ආදායම් සියල්ලම අහිමි වෙනවා. ඒ ජනතාව කන්න බොන්න නැතිව හාමතේ වැටිලා ඉන්නකොට රුපියල් පන්දාහ දිය යුතුයි. හැබැයි රුපියල් පන්දාහෙන් ඔක්කොම කරන්න බෑ. කොහොමද වැඩිහිටි මිනිසුන්ට බෙහෙත් ටික ලැබෙන්නේ. දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට ඩේටා ගාස්තු කොහෙන් ද රුපියල් පන්දාහකින් මේවා ඔක්කොම කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් පවුලක පස්දෙනෙක් හිටියොත් එහෙම කෑමට කීයක් යනවද කියලා ඔබතුමා දන්නවා ඇති. මේ රුපියල් පන්දාහ රාජපක්ෂ පවුලේ බූදලයෙන් ගෙනල්ලා දෙනවා නොවෙයි. මේවා මහජනතාවගේ බදු මුදල්. මේ දුර්වල කළමනාකරණය නිසා අපට සැකයක් තියෙනවා. සල්ලි අච්චු ගහලා දෙනවද කියලා. එහෙම නම් උද්ධමනය පිළිබඳ ප්‍රශ්නයකුත් එනවා. කවර තත්ත්වයක් යටතේ වුණත් ජනතාවට රුපියල් පන්දාහක් නොවෙයි දහදාහක් වත් දිය යුතුයි. අපි සතුටු වෙන්නේ එතකොටයි. අපේ රටේ මිනිසුන්ට හාමතේ මැරෙන්න දෙන්න බැහැ. පාලකයෝ පව් කරලා තිබ්බට ජනතාව පව් කරලා නැහැ.   


ප්‍රශ්නය -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා එක පවුලකට රුපියල් විසිදාහක් දිය යුතුයි කියලා. ඔබ හිතනව ද මේ යෝජනා ප්‍රායෝගිකයි කියලා.  


පිළිතුර - ඇත්ත වශයෙන්ම පවුලක හතර පස්දෙනෙක් ඉන්නවා නම් ඒ අයට කාලා බීලා බේත් ටික අරගෙන ළමයින්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට රුපියල් විසිදාහක්වත් ඕනෑ. ඒ අවශ්‍යතාවය තමයි එතුමා පෙන්නුවේ. අපි දන්නවා අපේ රටේ ආර්ථිකය අනුව රුපියල් විසිදාහක් ගෙවන්න බැරිනම් අඩුගානේ දහදාහක්වත් ගෙවන්න ඕනෑ. මොකද හේතුව මේ දෛනික ආදායම් ලබන ජනතාවගේ ඉතිරි කිරීමේ ගිණුම්වල මුකුත් නෑ. කණකර ආභරණ කොවිඩ් පළමු රැල්ලෙදීම බැංකුවලට තිබ්බා. ත්‍රීවිල් ඩිමෝ බට්ටා වලින් ව්‍යාපාර කරන අයගේ ලීසිං වාරික ගෙවාගන්න බැරිව ඔවුන් ණය බරින් මිරිකිලා ඉන්නේ. ඒ ජනතාවගේ අවශ්‍යතාවය තමයි එතුමා කතා කරන්නේ. ප්‍රේමදාසලා හැමදාම දුප්පත් ජනතාව ගැන තමයි කතා කළේ.  


ප්‍රශ්නය - විපක්ෂ නායක සජිත්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?  


පිළිතුර - එතුමා දැන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයට ඇවිත් ඉන්නවා. තව දවසක් දෙකක් යනකොට එතුමාට ගෙදර යන්න පුළුවන් වේවි. තවත් සතියක් දෙකක් එතුමා විවේකීව ඉන්න ඕන.  


ප්‍රශ්නය - ඔබ එන්නත ලබාගත්තද?  


පිළිතුර - මම ගත්තා ස්පුට්නික් මාත්‍රාව. දැන් ඒකේ දෙවැනි එක නැතිව ඉන්නේ. 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව