රටේ ඩොලර් හින්දන “නැවෙන් කටට” පරිභෝජනය


ඩොලරයට ඇති රුපියල් වටිනාකම වේගයෙන් ඉහළ නගින්නේ යළිත් ආර්ථිකය පිළිබඳ බියජනක සිතුවිලි පළ කරමිනි. විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම ද අපගේ ආනයන වියදම් ඉහළ යාම ද එයට හේතු වශයෙන් දැක්වෙයි. තවත් හේතු ද ඇත. ඉහළ ගිය අපගේ ආනයන වියදම් අතර වාහන ආනයනය, ඉන්ධන ආනයන වියදම ඉහළ යාම සහ වෙනත් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය ද වෙයි.

2022 හා 2023 වසරවල බංකොලොත් වී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් පෙර තිබූ තත්වයට පැමිණ නැත. එසේ තිබියදීත් අපට නොගැළපෙන විදේශීය ආනයන රටාවක් පවත්වා ගැනීමට රජය ද ජනතාව ද වගකිව යුතුය.

රටට මෙතරම් විපත් ගෙනආවේත් රටේ සංවර්ධනය අඩාළ කළේත් පොදු ජනතාව වන අපගේම නාස්තිකාර පරිභෝජන රටාව විසිනි. අප විසින් ඉල්ලා සිටින දෑ ආනයනය කිරීමට දේශපාලකයන් ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන අතර, අවසානයේ ආර්ථිකය අයහපත් වන විට අප දොස් කියන්නේ දේශපාලකයන්ට පමණකි. ආනයනවලදී ලැබෙන කොමිස් මුදල සඳහා දේශපාලකයන් ආනයනවලට කැමැත්තෙන් ඉදිරිපත් වන අතර, රටවැසියන් වන අපගේ නාස්තිකාර පරිභෝජන රටාව අකුළා ගන්නේ නම් මෙවැනි අසීමිත ආනයනවලට යොමුවීමට දේශපාලකයන්ට සිදු නොවේ.

ලංකාවේ මධ්‍යම පංතිය මෑත කාලයේ කරළියට ආවේ ‘‘ගෝඨා ගෝ හෝම්’’ උද්ඝෝෂණ මගිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් ඇදවැටීම පිණිස ක්‍රියාත්මක වූ ගාලු මුවදොර අරගලයට පණ පෙවුවේ මෙරට ග්‍රාමීය තරුණ ප්‍රජාව නොවේ. නාගරික තරුණ ප්‍රජාවය. මේ පිරිස රැකියා නැත්තෝද නොවූහ. ගාලු මුවදොර අරගලයට ගිය බොහෝ දෙනා කොළඹ නගරයේ රැකියා නියුක්ත තරුණ කණ්ඩායම් විය. ඉංග්‍රීසියෙන් කතා කරන හා පරිගණක ජංගම දුරකතන සාක්ෂරතාවෙන් අගතැන්පත් කණ්ඩායමක් වූ මේ පිරිස මධ්‍යම පංතියේම කොටසක් විය. ගාලු මුවදොර අරගලය මගින් ජනාධිපතිවරයා ඉවත් කිරීම අරමුණ කළ ද, පිටාර ගැලුවේ ඔවුන්ට පැමිණ තිබු ආර්ථික අහේනිය ය.

අධිවේගී මාර්ග හා වරාය ව්‍යාපෘතිය මගින් අධික ලෙස විදේශ ණය ආධාර මෙරටට ලැබිණි. ඒ සමගම එම ණය මුදල් ප්‍රතිලාභ යම් ප්‍රමාණයකින් මධ්‍යම පාංතිකයා තුළට ද උරා ගත්තේය. මහා පරිමාණ ඉදිකිරීම් සමාගම්, බැංකු, සුපර් මාකට්, වාහන අලෙවි සල් ආදිය පුළුල් විය. මෙහි ප්‍රතිලාභ ලැබුවෝ අලුතෙන් බිහිවූ මධ්‍යම පංතිය ය.

මෙම මධ්‍යම පංතියේ විශේෂත්වය වන්නේ මේ පිරිස ස්ථිර මූලධනයක් මත නොව මාසික වැටුප් මත සුඛෝපභෝගී ජීවිතයකට ඇතුළත් වූවන් වීමය. ඔවුන්ට තම ආයතනවලින් ඉහළ වැටුප් ලැබුණ බව සැබෑය. ඒ සමගම ඔවුන් ණය වාරික ගෙවීමේ පදනම මත වාහන ද මිලදී ගන්නට පෙලඹුණහ. එතෙක් ගමේ සිල්ලර කඩයෙන් බඩු භාණ්ඩ මිලදී ගත් බොහෝ දෙනා ණයට ගත් වාහනයෙන් ගොස් සුපිරි වෙළෙඳසලෙන් බඩු මිලදී ගැනීමට පුරුදු වුණේ ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) මගින් පසුව වාරික වශයෙන් ගෙවීමේ පහසුව ද ලැබුණු නිසාය. 2005න් පසු කාලයේ මධ්‍යම පංතියට ඇතුළු වූ බොහෝ දෙනා මෙවැනි පෞද්ගලික අංශයේ සේවය ප්‍රජාව ය. එම වකවානුව වෙද්දී ග්‍රාමීය හා කුඩා නගර මට්ටමෙන් ඇඟලුම් ව්‍යාපාරය ද විශාල ලෙස පැතිරුණේය. රටින් ආ ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, පරිගණක, දුරකථන ආදී සමාගම් විශාල ලෙස විවෘත විය. මෙවැනි ආයතනවල ඉහළ වැටුප් ලැබූ  සේවක පිරිස් ද විශාල ලෙස වර්ධනය විය.

යම් අයකුට ඉලෙක්ට්‍රික් වාහනවලට ඉන්ධන වැය නොවන බවට මතයක් ගෙන ආ හැකිය. එම වාහනවලට විදුලි ආරෝපණය කළ යුතු අතර, එම කාර්යය අප රටේදී වියදම් අධිකය. විදුලිය ආරෝපණය කළ යුත්තේ ජාතික විදුලි පද්ධතියෙනි.

කොරෝනා වසංගත සමය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පැටලිලි සහිත වීම හේතුවෙන් මතු වූ පෝලිම් යුගයත් සමග මෙම මධ්‍යම පංතිය වේගයෙන් කඩා වැටුණේය. කොරෝනා සමයේ රැකියා ස්ථාන බොහෝ කල් වසා තැබුණේය. වැටුපෙන් භාගයක් හෝ සමහර මාසවල විශේෂ දීමනා රහිතව වැටුප් ලැබුණි. බොහෝ ආයතන වාර්ෂික ප්‍රසාද දීමනා (බෝනස්) නොදුන්නේය. අලුත් මධ්‍යම පංතියේ පළමු කඩාවැටීම සිදුවූයේ එමගිනි. ගෝඨාභයගේ ආණ්ඩුව ද පෙරළා දැමූ මහජන කැලඹීමට පාර කැපුණේ මධ්‍යම පංතියේ මෙම බලාපොරොත්තු කඩවීමය. එහෙත් කිව යුත්තේ එම කෘත්‍රිම ඉහළ සමාජය තෘප්තිමත් කිරීම නිසා ඕනෑම රජයක් ආර්ථික වශයෙන් බෙලහීන වන බවය.

යම් අයකුට ඉලෙක්ට්‍රික් වාහනවලට ඉන්ධන වැය නොවන බවට මතයක් ගෙන ආ හැකිය. එම වාහනවලට විදුලි ආරෝපණය කළ යුතු අතර, එම කාර්යය අප රටේදී වියදම් අධිකය. විදුලිය ආරෝපණය කළ යුත්තේ ජාතික විදුලි පද්ධතියෙනි. ජාතික විදුලි  පද්ධතියට විදුලිය ලැබෙන්නේ නොරොච්චෝලේ තාප බලාගාරයෙන් හෝ ඉන්ධන බලාගාරවලිනි. එම බලාගාර සඳහා ගල් අඟුරු සහ ඩීසල් ගෙන එන්නේ ඉතා ඉහළ මිලක් වැය කරමිනි. ඒ නිසා විදුලි වාහන ගෙන එන්නේ නම් විදුලි ආරෝපණය සඳහා සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවන ක්‍රමයක් රටට හඳුන්වාදිය යුතුය. රජය සහ විදුලි බල මණ්ඩලය සූර්ය විදුලියට අනුග්‍රහය නොදක්වයි. මෙම ප්‍රතිපත්ති වෙනස් විය යුතුය. ඉතා විශාල මුදලක් වැයකර විදුලිය නිපදවන ලංකාවේදී විදුලි වාහන රටට තවත් බරක් පමණකි.

අද ලෝකයම මවිත කරවන ආර්ථික දියුණුවක් ළඟාකරගෙන ඇති චීනය සහ ඉන්දියාව ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රමය නාස්තිකාර ආර්ථික ක්‍රමයක් නොවේ. ඉන්දියාව විදේශ ආයෝජකයන්ට දොරටු විවෘත කළේ 1990න් පසුවය. චීනය පළමුව 1979දී සුළු ප්‍රමාණයකින් විදේශ ආයෝජන සඳහා දොරටු විවෘත කළේය. ඔවුන්ගේ ක්‍රමය වූයේ විදේශ ආයෝජන තුළින් නවීන තාක්ෂණය උකහා ගැනීමය. ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අද කලාපයේ රටවල් ගණනාවකට වාහන අපනයනය කරන මුත් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය සමාගමකි. එහි ශාඛාවක් තම රටේ ආරම්භ කරන්නට අවසර දුන් ඉන්දියා රජය එමගින් ‘‘අශෝක් ලේලන්ඩ්’’ නමැති දේශීය ව්‍යාපාරය දලුලා වැඩෙන්නට ඉඩහැරියේය. එය අද මව් සමාගමට ලාභාංශ පමණක් යවන සම්පූර්ණයෙන්ම ඉන්දියානු ව්‍යාපාරයකි.

අද චීනයේ ලොව ඇති ජනප්‍රියම වාහන නිපැයුම් සමාගම්වල වාහන ලක්ෂ ගණනක් ධාවනය වන මුත් ඒ සියල්ල විදේශීය සමාගම සහ චීන හවුල්කාරිත්වයෙන් බිහිකළ මෝටර් රථ ය. රටට මෝටර් රථ ලැබෙන අතරම සේවකයා විදේශීය තාක්ෂණය උකහා ගනියි. ඉන්පසුව චීනය තනිවම වාහන නිෂ්පාදනය ආරම්භ කළේය. ඉන්දියාවේ සහ චීනයේ බොහෝ බහුජාතික සමාගම් ක්‍රියාත්මක වෙතත් ඒවාට අවසර දී ඇත්තේ තම රටේ කාර්මික අංශය ද දියුණුවට පත්වන අන්දමිනි.

රට බංකොලොත්ව තිබූ අවධියේ තහනම් කර තිබූ ආනයනික භාණ්ඩ එක්දහස් හත්සිය ගණනක් ක්‍රමයෙන් ආනයනයට අවසර ලැබුණු අතර, අවසානයේම අවසර ලැබුණේ වාහන ආනයනයටය. මෙම වාහන ආනයනයට වත්මන් රජය යටතේ අවසර ලැබීමෙන් පසු මහබැංකුව එය නිසියාකාරව පාලනය කළේ නැත. දේශීය වශයෙන් රුපියල් බදු ආදායම් රජයේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඉලක්කය වූ අතර, එය සාර්ථක විය. එහෙත් ඉකුත් වසරේ පමණක් වාහන ආනයනයට වැය කළ මුදල ඩොලර් බිලියන දෙකකි. මේ නිසා සිදුවූයේ ඉතා අසීරුවෙන් රැස්කරගත් ඩොලර් කුඩා සංචිතයෙන් පදාසයක්ම එනම් ඩොලර් බිලියන දෙකක්ම වැය වීමය. එම වැයවීමට සාපේක්ෂව විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වූයේ නැත. සිදුවූයේ එතෙක් ලැබුණු ප්‍රමාණය ද අඩුවීමය. මැදපෙරදිග යුද්ධය එයට හේතු වූ අතර, ඉන්ධන ආනයන වියදම ඉහළ නැග්ගේ පිමි පනිමිනි. ඒ අතරම විදේශ සංචාරකයන්ගේ පැමිණීම ද විශාල ලෙස පහත වැටුණේය. මේ සියලු හේතුවල ප්‍රතිඵලය වූයේ ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමය. අපගේ ආනයන වියදම් පාලනය කර ගැනීමට රටවැසියන් ලෙස අපට නොහැකිවීම මෙම ඩොලර් අර්බුදයට හේතුව බව අප වටහා ගත යුතුය.

අද මෙරට ආහාර පිසීම සිදුවන්නේ පොල්තෙල්, ආනයනික එළවළු තෙල් සහ ආනයනික පොල්තෙල්වලිනි. ආනයනික පොල්තෙල් සහ ආනයනික එළවළු තෙල් සඳහා විශාල මුදලක් විදේශයට ඇදී යයි. එහෙත් ලන්දේසි පාලන සමයේ මෙරට කොකෝවා වගාව වේගයෙන් ව්‍යාප්ත කළ අතර, එකල ඉවුම් පිහුම් කෙරුණේ කොකෝවා තෙල්වලිනි. එයට පෙර සිංහල රාජධානි සමයේ පහන් පත්තු කිරීමට මී තෙල් සහ දොඹ තෙල් ද ඉවුම් පිහුම් සඳහා මීතෙල් ද බහුලව යොදා ගැනිණි. එකල පොල් වගාව එතරම් ව්‍යාප්තව තිබී නැත. වර්තමානයේ එම දේශීය තෙල් වර්ග අමතක කර සහ අතහැර දමා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයකර පොල් තෙල් සහ එළවළු තෙල් ආනයනය කරයි. පැරණි දේශීය තෙල් වර්ග යළි ප්‍රවර්ධනය කිරීමෙන් රටින් ඉවතට ගලා යන ඩොලර් මිලියන ගණන් රැක ගැනීමට හැකියාව ඇතත්, ඒ සඳහා බලධාරීන්ට දැනීමක් නැත.

අද මෙරට කුඹුරු විශාල වශයෙන් වගා නොකර අතහැර දමා ඇත්තේ වගාවට විශාල වශයෙන් මුදල් වැය වන නිසාය. ශ්‍රමය ද මිල අධිකය. එතරම් වගාවට වියදම් කරනවාට වඩා අඩු මුදලට වෙළෙඳපොළෙන් සහල් මිලදී ගත හැකිය. මෙරට සහල් හිඟනම් රජය පිටරටින් සහල් ආනයනය කර දෙයි. මේ නිසා තම කුස පුරවා ගත හැකි බව දන්නා ජනතාව කුඹුරු පාළුවී යාමට ඉඩහරියි. එහෙත් මෙරට මහා පරිමාණ වී වගාවට පොහොර, බීජ වී සහ කෘමිනාශක ගෙන එන්නේ විදේශයෙනි. ඒ සඳහා රජයට විශාල මුදලක් වැය වෙයි.

පොලොන්නරුව, තිස්සමහාරාම සහ අනුරාධපුර වී ගොවියාට රටටම බත සපයන්නට සිදුවී තිබේ. ඒ සඳහා වැඩි වියදමක් දරන්නට රටේ ආර්ථිකයට සිදුවී ඇතත්, ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නැත. අසූවේ දශකය තුළ පවා මෙරට ජනතාව තුන්වේලටම බත් කෑවේ නැත. ගෙවත්තේ වැවෙන හෝ අසල්වැසි නිවෙස්වල වැවෙන අල, බතල, කොස් හා දෙල් ආදිය දවසේ එක් වේලක් සඳහා පාවිච්චි කෙරිණි. අද එවැනි ආහාර රටාවක් නැත. අද බත වෙනුවට එක් වේලක් භුක්ති විඳින්නේ කොත්තු, රයිස්, පාන් ආදියෙනි. මේ සියල්ල විදේශයෙන් ගෙන්වන ආහාර ද්‍රව්‍ය ය. එක්දහස් නවසිය හැට ගණන්වල මෙරට ජනතාවට ඉතා අසීරුවෙන් හුරු කළ පාන් පිටි අද දෛනික ආහාර වේලේ මුල්තැනට පැමිණ ඇත. පාන් පිටි ආනයනය සඳහා රජය ජාතික ආදායමෙන් අතිවිශාල මුදලක් වැය කරයි. ඛනිජ තෙල් සහ වාහන ආදිය ගෙන ඒම සඳහා රජය ඉතිරි කරගත යුතු ඩොලර් ප්‍රමාණය කම්මැළි ජනතාවකගේ කුස පිරවීම සඳහා පාන්පිටි ආදිය ගෙන ඒමට වැය කිරීමට රජයට සිදුවෙයි. එවැනි විටෙක රුපියල බාල්දු කරමින් ඩොලරයේ මිල ඉහළ යාම පුදුමයක් නොවේ. එහි වැරැද්ද රජයට පැවරිය නොහැකිය.

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝකය ආහාර අර්බුදයකින් පෙළෙමින් සිටියදී අපි අපගේ ආහාර වේල පිටරටින් එනතුරු බලා සිටිමු. කිසිදු ආහාර ද්‍රව්‍යයක් පිටරටින් ගෙන ආ යුතු නැත. ජනතාවට මෙම තත්වය පහදා දිය යුතුය. රජයේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් විය යුතුය.

ප්‍රේමකීර්ති රණතුංග